Thursday, November 10, 2011

බෙහෙත්වලට වඩා රෝගියකුගේ මානසික සුවයට කරුණාව දයාව වැදගත් වෙනවා

හෙද ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උළෙලේදී ජනාධිපති කියයි

හෙද සේවයේ ගුණාත්මක බව ශක්‌තිමත් කරන්න
හෙද සංගමය දැඩි කැපවීමකින් කටයුතු කළා
ඇමැති මෛත්‍රිපාල සිරිසේන
එදා තිබුණ වහල් සේවය වෙනුවට අද දෙපයින් යන්න ශක්‌තිය ලැබී තිබෙනවා
රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි
අනුර බාලසූරිය
බෙහෙත්වලට වඩා රෝගියකුගේ මානසික සුවයට ඔබ දක්‌වන කරුණාව, දයාව වගේම සිනහව වැදගත් වන්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
හෙද ඩිප්ලෝමා සහතිකලාභීන් 1441 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (8 දා) පැවැති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
හෙද පත්වීම් ලිපි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා අතින් හෙද හෙදියන් 45 දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
අලුතෙන් ඇතිකරන ලද හෙද සභාව සඳහා ප්‍රථම හෙද නිලධාරිනිය ලියාපදිංචි කිරීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා උත්සවය අමතා මෙසේද කීවේය.
ඔබ අද උතුම් සේවයකට ඇතුළුවන දිනයක්‌. හෙද සේවයට අලුතින් පත්වීම් පිරිනැමීමේ අවස්‌ථා රැසකටම මා සහභාගි වී තිබෙනවා. නමුත් අද වෙනසක්‌ දකින්න තිබෙනවා. වෙනදා කිරි කොක්‌කු වගේ සුදු ඇඳුමකින් සැරසී පැමිණෙන ලස්‌සන නර්ස්‌ නෝනලා අද ලෝගුවකින් සැරසී පැමිණ සිටීම නිසා ඒ සුදු වැහිලා. කොහොම උනත් ඔබේ සේවය නම් කොයිම අවස්‌ථාවකවත් වෙනත් ලෝගුවකින් වැසෙන්න ඉඩතියන්න එපා.
අපි කරන සේවයට වැටුප් ගෙවන්නේ ජනතාවයි. එම නිසා ඒ ජනතාව වෙනුවෙන් අපෙන් වියයුතු යුතුකමක්‌ තියෙනවා. ඒ යුතුකම් කොටස අප නොපිරිහෙලා උපරිමයෙන් ඉටුකළ යුතුයි. රෝගියකු රෝහලට එන්නේ ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලයි. කුමන තරාතිරමක අයෙකු වුණත් රෝගී වුණාම එවැනි තත්ත්වයකට පත්වෙනවා. වෛද්‍යවරයාගේ ප්‍රතිකාර වගේම හෙදියගේ සත්කාරය ඒ රෝගියාගේ ජීවිතයට වැදගත්. වෙදකමට වඩා හෙදකම පිළිබඳ බලාපොරොත්තු වෙනවා. ඒ යුතුකම රෝගීන් වෙනුවෙන් ඔබ උපරිමයෙන් ඉටු කරන්න.
ඖෂධයට වඩා රෝගියාට ඔබ දක්‌වන කරුණාව දයාව මහත් සහනයක්‌. සිනහවට මුදල් වැය වෙන්නේ නෑ. ඔබට මොන ප්‍රශ්න තිබුණත් ඔබ රෝගියකු ළඟට සිනහමුසු මුහුණින් යන්නේ නම් රෝගියාට එය මානසික සහනයක්‌ වෙනවා.
මම හැමදාම හිතනවා වගේ මොනම අවස්‌ථාවකදීවත් අද වනතෙක්‌ අල්ලස්‌ චෝදනාවක්‌ නැති එකම වෘත්තීය හෙද වෘත්තිය බව බියක්‌ නැතිව කියන්න පුළුවන්. එම නිසා ඔබට තියෙනවා විශාල වගකීමක්‌. ඔබ ඔබේ දෙමවුපියන්ට, සහෝදර සහෝදරියන්ට සලකන අයුරින් රෝගීන්ටත් සලකයි කියා අපි බලාපොරොත්තු වෙනවා.
අපේ හාමුදුරුවෝ ලොකු වේදනාවකින් කතා කළා ඔය කැලෑ පත්තර වලින් ගහන මඩවලට. මමයි ප්‍රථමයෙන් මේ ඔක්‌කොම දාල දුවන්න ඕන. එම නිසා ඒවා එතරම් ගණන් ගත යුතු දේවල් නොවෙයි. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. මොන දේවල් කිව්වත් ඊට නොබියව මුහුණ දී ඉදිරියට යැමේ ශක්‌තිය අපට තිබෙනවා.
ඔබ අද ඇතුළුවන්නේ රාජ්‍ය සේවයටයි. එක යුගයක රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කටයුතු කළා. ලක්‍ෂ 8 ක්‌ වූ රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 6 අඩු කරන්න කටයුතු කළා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරෙව්වේ නෑ. අලුතෙන් බඳවා ගත්තේ නෑ. නමුත් අපි රාජ්‍ය සේවය ශක්‌තිමත් කළා. රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 13 ක්‌ දක්‌වා වැඩි කළා. අපි මේ ලක්‍ෂ 13 ට නියමිත දිනට අනිවාර්යයෙන් වැටුප් ගෙවිය යුතුයි. පරක්‌කු කරන්න බෑ. ඒ වගේම ලක්‍ෂ ගණනාවක්‌ සිටි විශ්‍රාමිකයන්ටත් නියමිත වෙලාවට වැටුප ගෙවිය යුතුයි. රාජ්‍ය සේවය පිළිබඳ දැඩි විශ්වාසයක්‌ තබා ඉන් කාර්යක්‍ෂම ඵලදායි සේවාවක්‌ ඉටුවෙයි කියා අප තුළ දැඩි විශ්වාසයක්‌ තිබෙනවා.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා-
පළමු වරටයි හෙද සේවයේ ඩිප්ලෝමාධාරීන් ලෙස පත්වීම් ලබන්නේ. ඒ නිසා අද ඔබට මෙය වැදගත් අවස්‌ථාවක්‌. අප රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය තුළ ඔබ ඉටු කරන්නේ මුළු මහත් ලෝකයේ මානවයා වෙනුවෙන් වැදගත් වටිනා සේවයක්‌. ඔබේ සේවයේ ගුණාත්මක භාවය පිළිබඳ කතා කරන විට එය තමයි ඔබට ලැබෙන ඉහළම සහතිකය. ඔබේ සේවාව තුළ ජනතාව බලාපොරොත්තු වන්නේ උසස්‌ ගුණාත්මක සේවාවක්‌.
හෙද සේවයේ ගුණාත්මක භාවය ශක්‌තිමත් කරන්න හෙද සංගමය දැඩි කැපවීමකින් කටයුතු කළා. ඒ නිසාම හෙද සභාව පිහිටුවන්න පුළුවන්කම ලැබුණා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති 104 ක්‌ පමණ තිබෙනවා. ඉන් 50 ක්‌ පමණ ක්‍රියාත්මක වෙනවා. එයිනුත් දහයක්‌ පමණ ඉහළම ක්‍රියාකාරිත්වයක්‌ තිබෙනවා. රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය වෘත්තීය අයිතීන් සඳහා ම පමණක්‌ තමන් කරන වෘත්තීය සමිතියක්‌ නොවෙයි. ඔවුන් සුහද මානව යුතුකම් නිසියාකාරව ඉටුකරනවා. සමාජයීය, ආර්ථික, දේශපාලන ප්‍රශ්න තේරුම් ගෙන කටයුතු කරන වෘත්තීය සමිතියක්‌. රජයට සමාජයට කළ යුතු සේවය ඉටු කරනවා.
හෙද සේවයේ තිබෙන ගුණාත්මක භාවය වගේම සමහර අවස්‌ථාවල අඩුපාඩුකම් දකින්න තිබෙනවා. ජාතික සෞඛ්‍ය සතිය ප්‍රකාශයට පත් කරපු පළමු සතියේ ජනාධිපතිතුමා මහනුවර රෝහලේ වකුගඩු අංශයට ගිය අවස්‌ථාවේදී එතුමා රෝගීන්ගේ සුවදුක්‌ විමසා බලද්දී ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනියක්‌ කතාව ආරම්භ කළේ පවතින අඩුපාඩු ගැනයි. ඊළඟ රෝගියා ළඟට ජනාධිපතිතුමා ගිය අවස්‌ථාවේදීත් ඇය කිව්වේ ඒ කතාවමයි. නමුත් ඊට වඩා ඇය කරන සේවය මුලින් කතා කළා නම් හොඳයි කියලා මට සිතුනා.
ඖෂධවලට වඩා ඔබ ලබාදෙන ගුණාත්මක සේවය තුළයි රෝගියා නිරෝගී වන්නේ. අපි වගකීම් යුතුකම් තුළ ගුණාත්මක සේවයක්‌ ගැන කතා කරන විට එය අවංකව ඉටු කරනවා වගේම අපට තිබෙන වගකීම් යුතුකම් පිළිබඳ අවබෝධ කර ගත යුතුයි. අපි අඩුවක්‌ නැතුව රෝහල්වලට අවශ්‍ය හැම දේම දී තිබෙනවා. ඖෂධ, උපකරණ ගැනීමේදී මුදල් පිළිබඳ ප්‍රශ්නයක්‌ ඇති කරලා නෑ. අපිට අඩුවක්‌ කියලා නෑ ජනාධිපතිතුමාගේ උපදෙසින් රෝහල්වල බාහිර රෝගීන් බලන කාලය රාත්‍රි 8 දක්‌වා දීර්ඝ කිරීම නිසා ඖෂධ සඳහා වාර්ෂිකව වෙන්කරපු රුපියල් බිලියන 4 මුදල බිලියන 8 ක්‌ දක්‌වා වැඩිවෙලා. අතිරේක සේවය කරන ඒ කාර්යමණ්‌ඩල වෙනුවෙන් සියලු වැය දරනවා. සීමා රහිතව ප්‍රවාහන පහසුකම් සපයනවා. රජයේ විශේෂ තීන්දු සමඟ ජනතාවට කරන සේවය අද වඩාත් පුළුල් වෙලා.
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු මේ වන විට සම්පූර්ණ කර තිබෙනවා. අපි ආණ්‌ඩුවක්‌ විදියට නිදහස්‌ සෞඛ්‍ය සේවය ශක්‌තිමත් කරන්න පියවර ගෙන තිබෙනවා. යම් වැඩවල ප්‍රමාද අඩුපාඩු සිදුවේ නම් මධ්‍යම නිලධාරි මට්‌ටමින් සිදුවෙන්නේ. එම නිසා එවැනි ප්‍රමාද අඩුපාඩු ඇති කරන මධ්‍යම මට්‌ටමේ නිලධාරීන් පිළිබඳව දැඩි ලෙස කටයුතු කරනවා.
රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණෝ-
හෙද සේවයේ නියුතු ඔබ හැමදෙනාටම අද වාසනාවන්ත දිනයක්‌. 1928 අවුරුද්දෙ ඉඳල අපි වසර ගණනක්‌ හෙද කවුන්සිලයක්‌ අවශ්‍ය යෑයි කියන හඬ මේ රටේ බලයට පත් වූ හැම රජයකටම ඉදිරිපත් කළා. නමුත් සිදුවුණේ ඒවා සාකච්ඡා ලිපි ගොනුවලට පමණක්‌ සීමා වීමයි. ක්‍රියාත්මක වුණේ නෑ. නමුත් වත්මන් සෞඛ්‍ය ඇමැතිතුමා ජනාධිපතිතුමාගේ උපදෙස්‌ පරිදි ඒ පිළිබඳ ගැසට්‌ නිවේදනය නිකුත් කළා. පසුගියදා ජනාධිපතිතු=මා එය ප්‍රකාශයට පත් කළා. දැන් එහි වැඩ කරගෙන යනවා. මෙය තමයි ලෝකයේ 146 වන හෙද සභාව බවට පත්වන්නේ.
හෙද හෙදියන් සඳහා උපාධියක්‌ ඉල්ලුවා. ජනාධිපතිතුමා එය ආරම්භ කරන්න උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට උපදෙස්‌ දුන්නා. නමුත් කියන්න කනගාටුයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ගොළුබෙලි ප්‍රතිපත්තිය නිසා ඒ හැම දෙයක්‌ම ටිකෙන් ටික පස්‌සට ගියා.
මෙතෙක්‌ හිටපු නායකයන්ගෙන් නොකෙරනු දේ ජනාධිපතිතුමා අපට ඉටු කර දී තිබෙනවා. හෙද පුහුණුව වසර 4 ක්‌ කරන්න එංගලන්තය පියවර අරන්. අපිත් කියන්නේ හෙද පුහුණුව වසර 4 ක්‌ කරන්න කියලයි. මොන බාධක ආවත් එය ක්‍රියාත්මක කළ යුතුයි. අද හෙද හෙදියන්ට ඩිප්ලෝමා සහතිකයක්‌ ලැබෙනවා. මේ ලෝගුව පළඳින්න බලය දුන්නේ ජනාධිපතිතුමා.
අපි ලද දෙයින් සතුටු වන අය නොවෙයි. එදා ඔබට තිබුණු වහල් සේවය වෙනුවට අද දෙපයින් යන්න ශක්‌තිය ලැබී තිබෙනවා. දැන් අපි සටන් කළ යුත්තේ අපේ ගුණාත්මක භාවය උසස්‌ කර ගැනීමටයි. ඔබේ මූලික රාජකාරිය විය යුත්තේ අහිංසක රෝගීන්ට සැලකීමයි. කැලෑ පත්තරවලට රැවටෙන්න එපා. ඔබේ මූලික කාර්ය සිනහමුසු මුහුණින් රෝගියා ළඟට යැමයි. නිකන් දෙන එකම දේ සිනහවයි. ඔබ සිනහමුසු මුහුණින් රෝගියා ළඟට යනවා නම් ඉන් රෝගියාට සහනයක්‌ ලැබෙනවා. ඔබ පුළුවන් තරම් රෝගියාට දයාවෙන් කරුණාවෙන් කටයුතු කරන්න. රෝගියාට ඔබෙන් ලැබිය යුතු සැලකිල්ල නොඅඩුව ඉටුකරන්න. අපේ ප්‍රශ්න අපට සාකච්ඡා මාර්ගයෙන් විස¹ගත හැකියි. ප්‍රශ්න විස¹ගැනීමේ ඒකායන මාර්ගය සාකච්ඡාවයි.
සුහද හදක්‌ ඇති අපේ රෝහල යන සංකල්පය ඈත් නොකර අප කටයුතු කරමු.
මෙම අවස්‌ථාවට ඇමැතිවරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්. හෙද විදුහල්වල විදුහල්පතිවරුවරුන් පිරිසක්‌ සහභාගි වූහ.

divaina/2011/11/10


No comments:

Post a Comment