Friday, November 11, 2011

හෙදි සේවයට අපගේද සුභ පැතුම්


ශ්‍රී ලංකාවේ තිබෙන විවිධ වෘත්තීන් අතරින් මෙතෙක්‌ කිසිම දවසක අල්ලස්‌ චෝදනාවකට ලක්‌ නොවූ වෘත්තියක්‌ වේ නම් ඒ හෙද වෘත්තිය පමණක්‌ බව නොබෝදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය අපගේද දැඩි අවධානයට ලක්‌ විය. ජනාධිපතිවරයා විසින් දෙන ලද ඒ සහතිකයේ නිර්මල භාවයට හා සුජාත භාවයට අපිදු සාක්‍ෂිකරුවෝ වන්නෙමු. සත්තකින්ම එහි අබැටක තරම්වත් අතිශයෝක්‌තියක්‌ නැත. එනිසා එබඳු ප්‍රශංසාවකට, අගැයුමකට ඒ උදාර සේවයේ නියුතු අය සුදුස්‌සෝ ය.

අප විසින් ද බොහෝ අවස්‌ථාවලදී අවධාරණය කරන ලද එක්‌ දෙයක්‌ නම් දූෂණය හා අල්ලසය. දූෂිත නිලධාරීන් හා දූෂිත දේශපාලනඥයන් විසින් මේ රටට කරන ලද විනාශය ය. එහෙත් අපගේ සංවේගයට හේතු වන්නේද ඒ දූෂණය හා අල්ලස අදටත් ගංවතුරක්‌ සේ ගලා යාමය. ඒ පිළිබඳව දොස්‌ කිවයුත්තේ කාටද? ආණ්‌ඩුවට ම පමණක්‌ ද? ඇයි ඒ ඒ වෘත්තීන්හි යෙදෙන්නෝ එයට වගකිව යුතු නොවෙත්ද?

ජනාධිපතිවරයාට හෙදියන් දෙසට දෑත් දිගු කරමින් එවැනි විශිෂ්ට ගෞරවයක්‌ ඔවුන්ට ප්‍රදානය කළ හැකි වූයේ ඔවුන් විසින් සිය වෘත්තීය ගෞරවය හා අභිමානය ආරක්‍ෂා කරන ලද නිසා බව අපගේ විශ්වාසයයි. අපි බොහෝ විට නැති ගුණ මවා පෙන්වීමටද ව්‍යාජ ප්‍රශස්‌ති ගැයීමටද හපන්නු වෙමු. එසේම අපට අයත් නොවන, කිසිදු හිමිකමක්‌ නැති ගෞරවයක්‌ පිරිනමන විටද විලියකින් තොරව එය බාර ගැනීමටද මැලි නොවෙමු. එහෙත් මේ හෙදියෝ එබඳු පිරිසක්‌ නොවෙති.

සත්තකින්ම වෙදකමට වඩා හෙදකම අගනා බවට පොදු පිළිගැනීමක්‌ ඇත. මොන තරම් බේත් හේත් කළත් ඒ බේත් හේත් සාත්තුව සිදු වන්නේ අකාරුණික දෑතකින් නම් ඉන් ලැබෙන ප්‍රතිඵල අඩුය.

රෝගියා යනු බොහෝ විට ගතට වඩා සිත දුබල වූවෙකි. ඔහුට වුවමනා වන්නේ කාරුණික අවධානයකි. බේත් පෙති දෙක පෙවීම කාරුණිකව කරන හෙදියක්‌ ඒ ගුණයෙන් පිරිපුන්ය. බෙහෙත් පෙති දෙක අතට දී බලන බැල්මකින් එය ගිල්ලවීමට සමත් හෙදියෝ ද විරලව හෝ නොසිටිතියි අපි නොකියමු. එහෙත් හෙදියන් පිළිබඳ සාපේක්‍ෂ ගුණය නම් කාරුණික බව හා අල්ලසින් හා දූෂණයෙන් තොර වීම බව නිසැකය.

රෝහලට එන රෝගියා රෝගියකු ලෙස සැලකීමත් තම සේවය පහන් සිතින් රෝගීන්ට ලබාදීමත් හැර වෙනත් අරමුණක්‌ හෙදියන්ට නැත. එබඳු හෙදියන්ට රෝගියාගේ ඥතීන්ගෙන් හෝ හිතවතුන්ගෙන් "සන්තෝසමක්‌" අවශ්‍යද නැත. "සන්තෝසයට" දෙන දෙය අල්ලසක්‌ දැයි ඔබ කල්පනා කරන්නෙහිය.

කිසියම් රෝහල් වාට්‌ටුවක ප්‍රතිකාර ලබමින් සිටින අයෙක්‌ රෝහලින් පිටව යද්දී මුළු කාර්ය මණ්‌ඩලයටම "කේක්‌ ගෙඩියක්‌" ලබාදීම සතුට පිළිබඳ සංකේතයකි. එහෙත් කිසියම් හෙදියකගේ අතක නෝට්‌ටුවක්‌ මිට මෙළවීම අල්ලසකි. එහෙත් හෙදියන්ට එබඳු අතමිට මෙළවීම් සිදු නොකෙරේ.

කාර්යාලයකින් කිසියම් සේවයක්‌ අපේක්‍ෂාවෙන් යන අයෙක්‌ ඇතැම්විටක එබඳු අතමිට මෙළවීම් සිදු කරන අවස්‌ථා ද තිබේ. එයට හුරුවන සේවකයාට අල්ලස්‌ සඳහා තිබෙන බිය සැක දුරු කර ගැනීමටද පහසුය.

මේ අනුව අල්ලස කිසිවෙක්‌ නොදැනුවත්වම සමාජගත වේ. පසුව ඒ සඳහා මැදිහත්කරුවෝ ද ඉදිරිපත් වෙති. බොහෝ විට රෝහලක මුරකාරයෙක්‌ හෝ වෙනත් සුළු නිලධාරියෙක්‌ද එබඳු අල්ලස්‌ නිසා රැකියාවටද තට්‌ටු කර ගනිති. එය වෙනම කතාවකි. අපගේ මාතෘකාව වන හෙද වෘත්තීය තුළ එබඳු තත්ත්වයක්‌ පැන නැඟී නැත. ඒ නිසා එම සේවය ද පිවිතුරුව හා මැනවින් ඉටු වේ.

හෙද සේවය අල්ලස්‌වලින් දුරුවන්නා සේම ඉතා යහපත් සේවාවක්‌ බවද කිව යුතුය. අප ගිලන් වූ කළ ඔවුන්ගේ දයාබර වදනින් අප සුවපත් කරන හෙදියෝ ද සිටිති. ඒ අතරම ඇතැම් සැර පරුෂ දොස්‌තර මහත්වරුන්ගේ පිප්පිලි ද මෝඩ දේශපාලනඥයන්ගේ "හයිපාට්‌" ද දරා ගැනීමට හෙදියන්ට සිදුවන අවස්‌ථා ද වේ. එහෙත් හෙද සේවය ඒ කිසිවකින් බිඳ වැටෙන්නේද නැත.

සිය වෘත්තීය අභිමානය වෙනුවෙන් සටන් බිමට යන හෙදියෝ ද සිටිති. එහෙත් හෙදි සේවය අල්ලසින් හා දූෂණයෙන් තොර පරමාදර්ශයක්‌ ලෙස තවමත් සුරැකී තිබෙන බව කියමින්ම ඒ සඳහා ඔවුන්ට අපගේ ප්‍රශංසාව ද පිsරිනැමීමට කැමැත්තෙමු.

එසේම එබඳු උතුම් සේවයක නිරතව සිටින හෙදියන්ගේ වෘත්තීය ගැටලු හා ප්‍රශ්න විස¹ දීමට පියවර ගැනීම ඒ සේවය අගැයීමක්‌ ලෙසද අපි දකිමු. අල්ලසින් දූෂණයෙන් දුගඳ වූ අප ජීවත්වන සමාජ ගොහොරුව තුළ පියුමක්‌ සේ සුපිපී සුදිලෙන හෙදි සේවයක්‌ හෝ ඉතිsරිව තිබීම භාග්‍යයකි.



Divaina 2011.11.11

No comments:

Post a Comment