Monday, November 14, 2011

සූතිකාගාරය බංකරයක

මහවැලි එල් කලාපයට අයත් වැලිඔය සම්පත් නුවර රෝහල ඉතාම අපහසුකම් යටතේ පවත්වාගෙන යන රෝහලකි. පළමුවැනි ශ්‍රේණියේ ප්‍රාදේශීය රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ග කර ඇති මේ රෝහල පසුගිය යුද සමයේ දී යුද සෙබළුන්හට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත් ප්‍රධාන මධ්‍යස්ථානයක් ද විය. එහෙත් අද එහි අඩුපාඩු රැසක් දක්නට ලැබේ.
දිනකට බාහිර රෝගී අංශයෙන් රෝගීන් අසූවකට වැඩි පිරිසක් හා නේවාසිකව රෝගීන් විසිපහක් පමණ ප්‍රතිකාර ගන්නා මේ රෝහලට සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණි.
සම්පත් නුවර ප්‍රාදේශීය රෝහල සඳහා තවත් වෛද්‍යවරු එක් අයකුවත් සිටිය යුතු අතර හෙඳ නිලධාරීන් 6, කම්කරුවන් 6 හා උපස්ථායක එක් අයකු බැගින් පුරප්පාඩුව පවතී.
සම්පත් නුවර රෝහලේ දැනට සිටින වෛද්‍යවරයාට අවශ්‍ය වේලාවට නිවාඩු ලබා ගැනීමට පවා නොහැකි වී ඇති අතර යම් හෙයකින් නිවාඩු ලබාගතහොත් වැඩ බැලීමටද වෛද්‍යවරයකු නොමැත. මෙවැනි තත්ත්වයක් ඇති වුණහොත් කිලෝමීටර තිහක දුරක් ගෙවා පදවිය රෝහලට යාමට සිදුවන බවද රෝගීහු කියති.
සම්පත් නුවර රෝහල වන්නි දිස්ත්‍රික්ක බල ප්‍රදේශයේ ඇති අතර පරිපාලන කටයුතු සිදු කරනුයේ අනුරාධපුර දිස්ත්‍රික්යෙනි. මේ නිසාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල් සඳහා ලබාදෙන පහසුකම් මේ රෝහලට ලබානොදෙන බවද ජනතාව පවසති.
සම්පත් නුවර රෝහලේ ප්‍රසූතිකාගාරය ඇත්තේ බංකරයක් තුළය. යුදහමුදාව යුද සමයේදී ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත් බංකරය දරුවන් බිහි කිරීමට යොදාගෙන ඇත. නමුත් එහිදී මව්වරුන්ට හා දරුවන්ට විෂබීජ ඇතුළුවීමේ අවදානමක් ද තිබේ. රෝහලේ වෛද්‍යවරයාට ;වන කළ හැකි දෙයක් නොමැති නිසා අවම පහසුකම් යටතේ වුවද අවදානම දරාගෙන ප්‍රසූතිකාගාරයේ කටයුතු සිදුකරනු ලබයි.
මේ පිළිබඳව වැලිඔය රෝහලේ දී හමුවූ කිහිප දෙනෙක් මෙසේ අදහස් දැක්විය.
රේණුකා පද්මකාන්ති මහත්මිය
සම්පත් නුවර රෝහලේ අඩුපාඩු ගොඩයි. එක් වෛද්‍යවරයයි රෝහලට ඉන්නේ. ඒ වෛද්‍යවරයා නිවාඩු ගිය දවසට ප්‍රතිකාර ගන්න ක්‍රමයක් නැහැ. ලේ පරීක්ෂා කරගන්න ක්‍රමයක් නැහැ. උණක් හැදුනොත් ලේ පරීක්ෂා කරගන්න පදවියට යන්න ඕනේ කිලෝමීටර් තිහක් විතර දුරක්. ඒත් ප්‍රවාහන පහසුකම් නැහැ.
මේ රෝහලට රසායනාගාර පහසුකම් කිසිම දෙයක් නැහැ. ළමා වාට්ටුවක් නැහැ. රෝහලටම තියෙන්නේ වාට්ටු දෙකයි. හැම රෝගියකුම මේ වාට්ටු දෙකට ඇතුළත් කරලා තමා ප්‍රතිකාර කරන්නේ. මෙච්චර දුක් විඳිමින් ගම්වල යුද්ධ කාලයේ ජීවත් වුණත් වැලිඔය ජනතාවගේ රෝහල දියුණු කරන්න කටයුතු කරල නැහැ.
කේ.සිතාරා මහත්මිය
රෝහලට විදුලිය නැතිවෙලාවට කරන්න දෙයක් නැහැ. ජෙනරේටරයක් වත් ලබාදීලා නැහැ. මේ වෙලාවට සූතිකාගාරය තුළ දරුවකු ලැබුණොත් ටෝච් ගහගෙන තමා වෛද්‍යවරයාට ඒ කටයුත්ත කරන්න වෙන්නේ.
සම්පත් නුවර රෝහලට වතුර ප්‍රශ්නය විශාල වශයෙන් තියනවා. පායන කාලයට වතුර ගන්න ළිඳ හිෙඳනවා. එතකොට රෝහලට වතුර ගන්න තැනක් නැහැ.

Dinamina 2011.11.14

No comments:

Post a Comment