Thursday, November 10, 2011

මහ මඟ අනතුරු වැළැක්වීමේ සතියක්

මහාමාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව මේ මස 14 දා සිට 20දා දක්වා සතිය මහාමාර්ග අනතුරු නිසා සිදුවන තුවාල වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය ඔක්තෝබර් 26 දිනට යෙදී තිබූ ලෝක හදිසි අනතුරු වැළැක්වීමේ දිනය නිමිති කර ගනිමින් මේ සතිය ප්‍රකාශයට පත් කර තිබෙන බවත් මහාමාර්ග හදිසි අනතුරු වළක්වා ගැනීම මෙහි අරමුණ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මාර්ග අනතුරු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සෑම දිස්ත්‍රික්කයකම බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍ය නිලධාරින් හා රෝහල්වල සිටින මහජන සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරින් මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මේ පිළිබඳ වන සමරු වැඩසටහනක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මහාමාර්ග ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර මේ නිසා වාර්ෂිකව මියයන ප්‍රමාණය 2000 - 2500 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. දිනපතා මාර්ග අනතුරුවලින් හයදෙනකු පමණ මියයන අතර සෑම පැයකට වරක්ම පුද්ගලයන් දෙදෙනකු මාර්ග අනතුරු නිසා බරපතළ තුවාල ලබති මාර්ග අනතුරු 80,000 ක් පමණ වාර්ෂිකව වාර්තා වීම සිදුවේ. ඒ අතරින් 30,000 ක් පමණ බරපතළ අනතුරු වේ.
බරපතළ තුවාල සහිත පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළු කළ විට ඒ පුද්ගලයා සුවපත් කිරීමට රුපියල් මිලියනයේ සිට මිලියන දහය දක්වා මුදලක් වැය කිරීමට රජයට සිදුවේ. රෝහල් පද්ධතිය මඟින් නොමිලයේ ප්‍රතිකාර ලබාදීම සිදු කරන නිසා මේ ගැටලුව රෝහල් පද්ධතියට අභියෝගයක්ව පවතියි. වර්තමානයේ මාර්ග පද්ධතියේ සිදුව ඇති ශීඝ්‍ර වර්ධනයත් සමඟම මහාමාර්ග භාවිතා කිරීමේදි පුද්ගලයන්ගේ නොසැලකිල්ල, බීමත්කම වැනි හේතූන් නිසා මාර්ග අනතුරු ඉහළ ගොස් තිබේ.
dinamina November 09

No comments:

Post a Comment