Saturday, January 4, 2014

බාල බෙහෙත් ගෙන්වන බාල මහත්වරුන්ගේ ජාවාරම්

"බෙහෙත් ජාවාරම දෙවැනි වනුයේ අවි ජාවාරමට පමණකි" යනුවෙන් ප්‍රසිද්ධ කියමනක්‌ පවතී. මෙම කියමන දහස්‌ වාරයක්‌ සනාථ කරමින් නිරතුරුව මෙරට රජයේ රෝහල්වලින් වාර්තා වනුයේ එක්‌කෝ වීදුරු කැබලි හෝ කුඩු වර්ගයක්‌ අන්තර්ගතව පවතින එන්නත් කුප්පි පිළිබඳවය, නැතහොත් කෙස්‌ ගස්‌ අඩංගු සේලයින් පිළිබඳවය. මෙම අපද්‍රව්‍ය සහිත බෙහෙත් හා එන්නත් සියල්ල කොමිස්‌ මුදලට හෝ වෙනත් වරප්‍රසාදවලට යටවී බාල බෙහෙත් නිපදවන සමාගම්වලින් බෙහෙත් මිල දී ගැනීමේ අනිසි ප්‍රතිඵලයන්ය.

දැනට වාර්තා වී ඇති පරිදි 2011 වසරේ දෙසැම්බර් මාසයේ සිට 2013 වසරේ සැප්තැම්බර් දක්‌වා කාලය තුළදී විදේශීය බෙහෙත් සමාගම් 71 කින් මිලදී ගත් බෙහෙත් හා එන්නත් වර්ග 202 ක්‌ තත්ත්වයෙන් බාල බවට පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. මෙම බාල බෙහෙත් හා එන්නත් වර්ගවලින් වර්ග 32 ක්‌ම කිහිප වරක්‌ම තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබියදීත් භාවිතයෙන් ඉවත් නොකර පැවැති ඒවා බව අනාවරණය වී තිබේ.

මෙම අපද්‍රව්‍ය සහිත බෙහෙත් භාවිත කිරීමෙන් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වනුයේ මෙරට අසරණ රෝගී ජනතාවටය. ඒවා කොමිස්‌ මුදලට හෝ වෙනත් වරප්‍රසාදවලට යටවී මෙරටට ගෙන්වීමට දායක වූ නිලධාරීන් සිය ප්‍රීතිය භුක්‌ති විඳිද්දී අසරණ රෝගීන් වලපල්ලට ගිය අවස්‌ථා බොහොමයක්‌ පසුගිය කාලයේ වාර්තා විය.

අපද්‍රව්‍ය සහිත එන්නතක්‌ ලබාදුන් දරුවකු මියයැමේ සිද්ධියක්‌ පසුගිය කාලයේ කරාපිටිය රෝහලින් වාර්තා විය. මෙසේ රෝගීන් ජීවිතයෙන් වන්දි ගෙවුවද එම තත්ත්වයට වගකිවයුqතු තත්ත්වයෙන් බාල බෙහෙත් වර්ග මෙරටට ගෙන්වූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන අයුරක්‌ නම් පෙනෙන්නට නොමැත.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් දූෂිත බෙහෙත් ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන් දැන් දරුණු අතුරු ආබාධ සහිත හා තහනම් බෙහෙත් වර්ග සැපයීම සම්බන්ධයෙන් වරදකරුවන් වී අසාදු ලේඛනයට (බ්ලැක්‌ ලිස්‌ට්‌) ඇතුළත් වූ ඇතැම් බෙහෙත් සමාගම්වලට නැවත ජාතික ඖෂධ අධිකාරියෙහි ලියාපදිංචිය ලබාදීමට තරම් පහත් තත්ත්වයකට වැටී සිටිති. මේ අයුරින් අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු එක්‌තරා සමාගමකට බෙහෙත් වර්ග 50 ක්‌ ගෙන්වීම සඳහා එක්‌ දින සේවය යටතේ බලධාරීන් විසින් ලියාපදිංචිය ලබාදුන්නේ නොබෝදාය.

තවත් අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු ඉන්දීය බෙහෙත් සමාගමකට මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය එන්නත් කුප්පි විශේෂයක්‌ සැපයීම සඳහා එක්‌ දින සේවය යටතේ ලියාපදිංචිය ලබා දුන්නේ ද මෙකී දූෂිත බලධාරීන්මය. එහිදී අදාළ සමාගම විසින් සැපයීමට යන එන්නත් කුප්පිවල තත්ත්වයවත් පරීක්‍ෂාවට ලක්‌ නොකළ මෙම බලධාරීන් අවම වශයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ අනුමැතිය නොමැතිව ඉහත කී බෙහෙත් සමාගම ලියාපදිංචි කර ඇත්තේ ඔවුනට එම සමාගමෙන් ලැබුණු මුදල් ඇතුළු වරප්‍රසාදයන් හේතුවෙන් බව අනාවරණය විය.

මෙම දූෂිත බෙහෙත් ගනුදෙනුවට සම්බන්ධ එක්‌තරා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකුගේ කිරුලපන පිහිටි පුද්ගලික බැංකු ගිණුමකට රුපියල් ලක්‍ෂ දෙකකට වැඩි මුදලක්‌ එම ලියාපදිංචිය ලබාදීම වෙනුවෙන් බැර කෙරුණු බවට ද වාර්තා විය. පසුව එම නිලධාරියා මෙම සිද්ධිය පරීක්‍ෂණවලදී අනාවරණය වෙතැයි බියෙන් අදාළ බැංකු ගිණුම අත්හිටුවා තම බිරියගේ බැංකු ගිණුමකට මුදල් යෑවීමට ඉහත කී බෙහෙත් සමාගමට අවස්‌ථාව ලබාදී තිබේ.

සාමාන්‍යයෙන් බෙහෙත් සමාගමකට මෙරටට අවශ්‍ය බෙහෙත් වර්ග සැපයීම සඳහා ජාතික ඖෂධ අධිකාරියෙහි ලියාපදිංචිය ලබාගැනීමට දිගු කාලයක්‌ බලා සිටීමට සිදුවේ. ඒ එසේ එම සමාගම විසින් සැපයීමට යන බෙහෙත් වර්ග සාම්පල පරීක්‍ෂාවට ලක්‌ කර අනිකුත් බලධාරීන් විසින් අනුමත කරන තෙක්‌ය. එහෙත් එවැනි දිගු ක්‍රියාදාමයක්‌ පැවතියදීත් කොමිස්‌ මුදලට ලියාපදිංචිය එක්‌ දිනකින් ලබාගැනීමට ඉහත කී දූෂිත බෙහෙත් සමාගමට අවස්‌ථාව ලබාදුන්නේ මෙරට රෝගී ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවට කිඹුල් කඳුළු හෙළන බලධාරීන් එම කනගාටුවට කරුණකි. මෙසේ දූෂිත ගනුදෙනුවක්‌ මත එක්‌දින සේවය යටතේ බෙහෙත් සමාගමකට ලියාපදිංචිය ලබාදුන් එක්‌තරා බලධාරියකුට වීම ගනුදෙනුව පිළිබඳව ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න කළ විටදී එම ලියාපදිංචිය ලබාදීම සාධාරණීකරණය කිරීමට ගොස්‌ ජනාධිපතිවරයාගෙන් මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ද බැණුම් ඇසීමට සිදු විය.

මෙකී දොaෂාරෝපණයට ලක්‌වූ බලධාරීන්ට බෙහෙත් සමාගම්වලට ලියාපදිංචිය ලබාදෙන සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානියා වන අතර මෙයට පෙර විශේෂඥ වෛද්‍යවරයකු නොවුවද එම වෛද්‍යවරයකුට හිමි වැටුප වසර 15 ක්‌ මුළුල්ලේ වංචනික ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්‌ විය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දඬුවමක්‌ වශයෙන් රුපියල් මිලියන 2 ක මුදලක්‌ වාරික 60 කින් තම වැටුපෙන් ගෙවීමට ද ඔහුට නියම වී තිබේ. එහෙත් එවැනි දරුණු වංචාවන්ට සම්බන්ධව සිටියදීත් ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩුව පවතින නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (රසායනාගාර සේවා) තනතුර සඳහා වන සම්මුඛ පරීක්‍ෂණයට තෝරා ගැනීමට තරම් ඇතැම් නිලධාරීන් බංකොළොත් වීම පුදුම සහගතය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (රසායනාගාර සේවා) යටතේ ජාතික ඖෂධ අධිකාරියේ හා වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්‍ෂවරුන් මෙන්ම ජාතික ඖෂධ තත්ත්ව පාලන ඒකකය ද පාලනයවීම මෙම තත්ත්වයට හේතු විය හැකිය. එම තනතුර ඉහත කී බලධාරියාට ලබාදුනහොත් ඔහුට දැනට වඩා දරුණු දූෂණ හා වංචාවන් සහිතව බෙහෙත් ගනුදෙනු කිරීමට හැකි වනු ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

මෙම බලධාරියා සම්බන්ධව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ද පැමිණිලි ලැබී ඇති අතර ඔහුට එල්ලවී ඇති චෝදනා පිළිබඳව රාජ්‍ය සේවා කොමිසම් සභාව ද විමසා සිටීම නිසා ඉකුත් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබූ අදාළ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය සඳහා වන සම්මුඛ පරීක්‍ෂණය ද අවලංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවිය.

මෙකී තත්ත්වයන්ගෙන් පෙනී යනුයේ අසරණ රෝගී ජනතාව බිල්ලට දී හෝ කොමිස්‌ මුදල් උපයා ගැනීමට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතැම් බලධාරීන් තුළ පවතින නිර්ලඡ්ජී ආශාවයි. ඔවුනට මුදල් හමුවේ රෝගියා යනු රූකඩයක්‌ වී ඇත.

ඉහත කී දූෂිත බෙහෙත් ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් හෝ පරීක්‍ෂණයක්‌ පවත්වන බවක්‌ අසන්නට නොලැබේ. මෙම තත්ත්වය සැබැවින්ම ෙ€දජනකය. මෙවැනි බලධාරීන් හේතුවෙන් මෙරට රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බෙහෙත් හා එන්නත්වල තත්ත්වය පිළිබඳව විශ්වාසයක්‌ තැබීමට බැරි තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ.

මෙම බලධාරීන් විසින්ම ගෙන්වනු ලබන බෙහෙත් හා එන්නත් වර්ග අපද්‍රව්‍ය සහිත නැතහොත් වෙනත් අයුරකින් තත්ත්වයෙන් බාල බව තහවුරු වනුයේ බොහෝ විට ඒවා රෝහල්වලට නිකුත් වී මාස දෙකක්‌ හෝ තුනක්‌ ගිය පසුය. ඒ වන විට ද එම බෙහෙත් වර්ගය රෝගීන් දහස්‌ ගණනක්‌ විසින් ගිල දමා අවසන්ව තිබිය හැකිය. එහෙත් එසේ බාල බෙහෙත් රජයේ රෝහලකින් ලබාගත් රෝගීනට ලැබෙන සහනයක්‌ නම් නොමැත. ඒ වෙනුවට බොහෝවිට ඔවුනට සිදු වනුයේ මරණය වැළඳ ගැනීමට හෝ අසාධ්‍යව රෝහල් ඇඳක කල් ගෙවීමටයි.

මෙම තත්ත්වය පිළිබඳව වහා රජයේ අවධානය යොමු විය යුතු අතර මෙම දූෂිත සෞඛ්‍ය බලධාරීන්ව තනතුරුවලින් ඉවත් කර ඔවුනට එරෙහිව උපරිම දඬුවම් පැනවීමට කටයුතු කළ යුතුය. එසේම දිනෙන් දින ගෙනඒම ප්‍රමාද වෙමින් පවතින ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කර මෙරටට ඖෂධීය නාමයෙන් බෙහෙත් ගෙන්වීම ඇතුළුවීමත් එමගින් කොමිස්‌ මුදලට යට වූ දූෂිත සෞඛ්‍ය බලධාරීන් තවත් බිහිවීම වැළැක්‌වීමටත් අවශ්‍ය පියවර ගත යුතුව ඇත. එවැනි පියවර නොගන්නේ නම් නිදහස්‌ සෞඛ්‍ය සේවාවේ උපරිම ප්‍රතිලාභයන් රෝගී ජනතාවට ලබාදීම තවදුරටත් අසීරු කාර්යයක්‌ වනු ඇත.

ඒමන්ති මාරඹේ


http://www.divaina.com/2014/01/05/feature12.html

No comments:

Post a Comment