Saturday, January 11, 2014

ජාතික ඖෂධ අධිකාරියේ මේ "බළල් අත" කාගේද?

රජයට වසරකට රු. බිලියන 1.5ක පාඩුවක්‌

අජිත් අලහකෝන් සහ ශිරාන් රණසිංහ

පිළිකා ඖෂධයකට පැය විසිහතරක්‌ තුළ ලියාපදිංචි සහතිකය ලබා දීමට උත්සාහ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන අංශය විසින් පරීක්‍ෂණ පවත්වද්දීත් එම ඖෂධය මිලදී ගන්නා ලෙසට ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරියෙක්‌ වෛද්‍ය සැපයීම් අංශයට බල කරමින් සිටින බව අනාවරණය වේ.

මෙම නිලධාරියාගේ මැදිහත්වීම මත තවත් ඖෂධ වර්ග පනහකට මේ වන විට පැය විසිහතරක්‌ ඇතුළත ලියාපදිංචි සහතික ලබා දී ඇති බවට ද චෝදනා එල්ල වේ.

වසර පහක කාලයක්‌ ඖෂධ අධිකාරියේ සේවය කිරීම නිසා මෙම නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශයේම වෙනත් ආයතනයකට ස්‌ථාන මාරුවක්‌ ලබාදී ඇතත් ඔහු එම ස්‌ථාන මාරුව භාර නොගෙන ඖෂධ අධිකාරියේම සේවය කරමින් සිටින බවට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ප්‍රකාශ කළේය.

අදාළ පිළිකා ඖෂධය පැය විසිහතරක කාලයක්‌ ඇතුළත ලියාපදිංචි කිරීමට විශේෂඥ වෛද්‍යවරයකුගේ අනුමැතිය අවශ්‍ය නමුත් මෙතෙක්‌ ඒ සඳහා අනුමැතිය ලබාදීම වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මෙසේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය ලබා දීමකින් තොරව අදාළ නිලධාරියාගේ මැදිහත්වීම මත මෙම පිළිකා ඖෂධයට ලියාපදිංචි සහතිකය නිකුත් කිරීම පිළිබඳව මේ වන විට ජනාධිපති විමර්ශන ඒකකය පරීක්‍ෂණයක්‌ පවත්වමින් සිටී. එම පරීක්‍ෂණය නිමා වීමටත් පෙර අදාළ ඖෂධය මිලට ගන්නා ලෙසට මෙම නිලධාරියා වෛද්‍ය සැපයීම් අංශයට බලපෑම් කරන බව ඉහත අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ අතර දැනට ක්‍රියාත්මක ඖෂධ ඒකාධිකාරිය නිසා වසරකට රජයට අහිමි වන මුදල රුපියල් බිලියන 1.5 ක්‌ යෑයි සෞඛ්‍ය අමාත්‍යාංශය ගණන් බලා තිබේ.

සමහර බහු ජාතික ඖෂධ සමාගම් කාලයක්‌ තිස්‌සේම සිය ඒකාධිකාරිය පවත්වාගෙන යමින් රටට සිදුකරන හානිය හඳුනාගත් සෞඛ්‍ය ඇමැතිවරයා ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා තරගකාරී සමාගම්වලට ඖෂධ ගෙන්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිය ද ඒකාධිකාරි සමාගම් ඊට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කර ඇතැයි ද අමාත්‍යංශය පවසයි. 


http://www.divaina.com/2014/01/12/news04.html

No comments:

Post a Comment