Saturday, January 4, 2014

කෝටි ගණන් වතුරේ දැමූ බාල ඖෂධ ජාවාරම

Published on Saturday, 04 January 2014 03:00

පසුගිය වසරේ මෙරටට ආනයනය කළ ඖෂධවලින් අඩක්ම ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ රිවිරට පවසා තිබිණ.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ආනයනය කළ ඖෂධ වර්ග 270 ක් මෙසේ බාල තත්ත්වයෙන් පැවති බව ද ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි අනූපහක් බව ද එහි දැක්වේ. සමාගම් 75ක් මෙසේ ශ්‍රී ලංකාවට බාල ඖෂධ ලබා දී ඇති අතර එක් පෙති වර්ගයක් පමණක් (මෙට්ෆෝමින්) කෝටි හයක් ආනයනය කර ඇතැයි ද පැවසේ. ප්‍රතිජීවක ඖෂධ මෙන්ම දියවැඩියාව, පිළිකා හා හෘද රෝග සඳහා වන ආනයනික ඖෂධ වර්ග බොහෝමයක් තත්ත්වයෙන් බාල බව අනාවරණය වී ඇත.
මෙම ප්‍රවෘත්තියේ වැදගත්ම කොටස වන්නේ එකී ඖෂධ බාල බව තහවුරු වී ඇත්තේ එයින් සියයට පනහක් පමණ රෝගීන් සඳහා නිකුත් කිරීමෙන් පසුවය යන්නය. මෙම තත්ත්වය යටතේ සිදු වී ඇති පාඩු රැසකි. ප්‍රධාන වශයෙන් මුදල් නාස්තිය එසේ මෙසේ පාඩුවක් නොවේ. අනෙක මෙම ඖෂධ ලබා දුන් රෝගීන්ගේ තත්ත්වය බරපතළ වීම හෝ රෝග සුව නොවී දිගුකල් පැවැත්ම හෝ ඇතැම් විට රෝගීන් මිය යාමද විය හැකිය.

පසුගිය වසර පුරාම වරින්වර ඖෂධ මාෆියාව ගැන අනාවරණය වූ තොරතුරු බොහෝ ය. මීට සති කිහිපයකට පෙර රුපියල් කෝටි ගණනක් වටිනා ඇම්පිසිලින් සෝඩියම් නමැති ප්‍රතිජීවක එන්නත් තොගයක් තත්ත්වයෙන් බාල යැයි හඳුනාගත් බැවින් වහාම සියලුම රෝහල්වලින් ඉවත් කරන ලෙස චක්‍ර‍ලේඛයක් මගින් රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැන්වූ බව වාර්තා විය. ඉන්දියාවේ නියෝන් ලැබෝරටරි සමාගම මගින් ආනයනය කළ එම එන්නත් තොගයට ගෙවූ මුදල ආපසු ලබා දෙන ලෙස දැනුම් දීමට කටයුතු කරන ලෙසට ද ඉදිරියේ දී එම සමාගමෙන් ගෙන්වීමට නියමිත තවත් තොග තිබේ දැයි වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවරයා රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් විමසූ බව ද එහි දැක්විණ. ආනයනයට පෙර සිදු කරන තත්ත්ව පරීක්ෂාවන් මිස ආනයනයෙන් පසුව රෝහල්වලට බෙදා හැරීමට පෙර ද ඖෂධ තත්ත්ව පරීක්ෂණයට භාජනය නොවීම මෙම ජාවාරමට හොඳ පසුබිමක් සකසා ඇති සෙයකි.

පෙර කී බාල එන්නත් ගෙන්වූ ඉන්දීය සමාගම උදාහරණයට ගතහොත් ඔවුන් මෙරටට ඖෂධ සැපයූ පළමු අවස්ථාව එය විය නොහැකිය. මීට පෙර ද ඔවුන් බොහෝ කලක සිට මෙම ජාවාරම කරගෙන ගිය බවට සැක නැත. එහෙත් ඒවා සොයා බැලීමට අදාළ අංශ තුළ කෙනෙක් නොසිටියාද යන්න රටට ඇති ප්‍රශ්නයකි. රජයට විශාල පාඩුවක්ද, රෝගීන්ට විශාල අවදානමක් ද ගෙන එන මෙම ඖෂධ ජාවාරම මෙසේ දිගින් දිගටම සිදු වීම තුළ පෙනී යන්නේ ඊට සම්බන්ධ අදාළ ආයතනවල පවතින උදාසීන පිළිවෙතය. වරක් අසාදු‍ලේඛන ගත කළ සමාගම්වලට කිසිදු වගවිභාගයක් නැතිව කවර හෝ අනුහසකින් නැවත ඖෂධ ආනයනයට මග සැලසීමේ පුවත් ද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. එයින් පෙනී යන්නේ ඖෂධ ආනයනයේ හොරු සහ කම්බා හොරු සියල්ලන්ම සිටින්නේ අදාළ ආයතන, දෙපාර්තමේන්තු හෝ අමාත්‍යාංශ තුළම බවය. අද රෝගියාට වඩා ඇතැම් නිලධාරී බලධාරි පිරිස ප්‍රමුඛ කොට සිතන්නේ ඔවුන්ගේ අතයට ගතමනාව ගැනය.

ඖෂධ ආනයනයේ දී ඊට අදාළ රාජ්‍ය ආයතන ඉතා විමසිලිමත් ලෙස කටයුතු කළ යුත්තේ කෝටි ගණන් මුදල් යොදා ආනයනය කර මුදලුත්, බෙහෙතුත් දෙකම නැතිකර ගැනීමේ අවදානම බරපතළ නිසාය. ඊටත් වඩා එම ඖෂධ භාවිතයෙන් රෝගීන්ගේ ජීවිතයට අත්වන ඉරණම ඛේදජනක බැවිනි. රෝගීන් රෝහල හෙවත් රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ තබන විශ්වාසය ඒ අයුරින්ම රැක දීමට සෞඛ්‍ය බලධාරින්ගේ වගකීම බැවින් ඖෂධ ආනයනය පිටුපස ඇති කවර හෝ කූට බලවේග හඳුනාගෙන ඒවා මර්දනය කිරීමට ශක්තිමත් වැටක් තැනීමේ අවශ්‍යතාව අද ඔවුන් හමුවේ ඇති ප්‍රමුඛ රාජකාරියක් බව අපි කියමු.

http://www.rivira.lk/edition/kathuwakiya/59769-කෝටි-ගණන්-වතුරේ-දැමූ-බාල-ඖෂධ-ජාවාරම.html

No comments:

Post a Comment