Saturday, January 25, 2014

සූතිකාගාරය වින්නඹු මාතාවන්ටද? හෙදියන්ටද?


මේ දිනවල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින දැවෙන ප්‍රශ්නය වී ඇත්තේ සූතිකා පුහුණුව අරබයා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් (වින්නඹු) හා රජයේ හෙද කාර්ය මණ්‌ඩලය අතර හටගෙන ඇති සටනය. තම වෘත්තියෙන්ම හිමිව ඇති සූතිකා කටයුතු තමන්ට අයත් රාජකාරියක්‌ බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් ප්‍රකාශ කරද්දී එය එම නිලධාරිනියන්ට පමණක්‌ නොව හෙද හෙදියන්ටද අදාළ කාර්යයක්‌ බව හෙද කාර්ය මණ්‌ඩලය නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිතිය වන රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය පවසයි.

මෙම අර්බුදය නිර්මාණය වීමට අවශ්‍ය අඩිතාලම දැමූ සෞඛ්‍ය බලධාරීන් හෙද කාර්ය මණ්‌ඩලයට සූතිකා පුහුණුව ලබාදීමට කිසිදු නිල අවසරයක්‌ ලබා නොදුන් බව පුන පුනා ප්‍රකාශ කරමින් සිටින අතර රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් එම කථා බහ අතරතුර අලුතින් බඳවා ගත් සියලු හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම ඉකුත් 17 වැනි සිකුරාදා දිවයින පුරා හෙද විදුහල් 17 කදී ආරම්භ කර තිබේ.

මෙම තත්ත්වයත් සමඟම සූතිකා පුහුණුව සම්බන්ධව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා හෙද හෙදියන් අතර පවතින සටන තවත් තියුණු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මෙම ප්‍රශ්නයේදී තමන් අහිංසක බව පෙන්වීමට උත්සාහ දැරුවද රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසින් පෙන්වා දෙන ආකාරයට අලුතින් පත්වීම් ලබන සෑම හෙදියකටම සූතිකා පුහුණුව වසරක කාලයක්‌ ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් විසිනි. මෙහිදී පැන නඟින ගැටලුව නම් එවැනි තීරණයක්‌ ගැනීමේ දී සූතිකා කටයුතුවලට තම වෘත්තියෙන්ම උරුමකම් කියන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් හෝ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසීමක්‌ හෝ අදාළ නිලධාරීන් සිදු කළේද යන්නයි. මන්ද දැනට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා හෙදියන් අතර හටගෙන ඇති ගැටුමට මෙම තීරණය දැඩි සේ බලපා තිබීමයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් පෙන්වා දෙන ආකාරයට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සූතිකාගාර සේවය සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දිය යුත්තේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ය.

මෙම සංගම් විසින් මෙහිදී මතුකර පෙන්වන සුවිශේෂී කාරණාක්‌ වේ. එනම් හෙදියන්ට වින්නඹු සේවාව භාර දීම හෝ වින්නඹු මාතාවන් හෙවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට හෙද සේවාව භාර දීම සෞඛ්‍යයට අහිතකර වන බව පෙන්වා දීමයි. එය වෙනත් ක්‍ෂේත්‍රයක විශේෂඥතාවයක්‌ දක්‌වන වෛද්‍යවරයකුව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වශයෙන් පුහුණු කිරීම හා සමාන කාර්යයක්‌ බව එම සංගම් විසින් දක්‌වයි.

හෙදියක පුහුණු කිරීම සඳහා වෛද්‍යවරයකු හා වින්නඹු මාතාවක්‌ පුහුණු කිරීමට යන වියදමට වඩා අධික මුදලක්‌ වැය වන බව නොරහසකි. හෙදියක පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 1.8 ක්‌ වැය කරන විට වින්නඹු මාතාවක්‌ පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 1.1 ක්‌ වැය කිරීමට රජයට සිදුව තිබේ. අනෙක්‌ අතට සූතිකා පුහුණුව ලැබූ හෙදියක එම පුහුණුව අවසානයේදී හෙදියක ලෙස පමණක්‌ කටයුතු කළ හොත් ඔවුන් ලැබූ සූතිකා පුහුණුවෙන් ප්‍රයෝජනයක්‌ අත් නොවන බව විද්වත් මතය වී තිබේ.

හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමෙන් වැය කෙරෙන වියදමද ඉහළ යන අතර පුහුණු කාලය වැඩි වී හෙද හිඟය තවත් වැඩි වනු ඇතැයි හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමට විරුද්ධ පාර්ශවයන් ගෙන එන තවත් තර්කයක්‌ වී ඇත.

අනෙක්‌ අතට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්‌ව ඇති වින්නඹු සේවාව පිළිබඳ මහජනයා තුළ පවතින විශ්වසනීයත්වය, ජාත්‍යන්තර ප්‍රමිතිය, ජාත්‍යන්තර දර්ශක හා සෞඛ්‍ය සේවාවට ඇති පිළිගැනීමද බිඳ වැටෙනු ඇතැයි ඉදිරිපත්ව ඇති තවත් මතයකි.

මෙකී කරුණු කාරණා සමඟ හෙද කාර්ය මණ්‌ඩලයේ බහුතරයක නියෝජනය සහිත රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දරනුයේ වෙනස්‌ මතයකි. එනම් රජයේ හෙද හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම අද ඊයේ ආරම්භ වූවක්‌ නොව 1886 වසරේ සිට සිදු කරගෙන ආ වැඩපිළිවෙළක්‌ බව සංගමයේ මතය වී තිබේ. මෙම තත්ත්වය මත හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්‌ මිස අනවශ්‍ය කරුණක්‌ නොවන බව එම සංගමයේ ස්‌ථාවරය වී තිබේ.

එහෙත් පවුල් සෞඛ්‍ය සේවා සංගමය පෙන්වා දෙනුයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි සේවාව ආරම්භ කර ඇත්තේ 1881 දී වීම නිසා හෙදියන්ට සූතිකා පුහුණුව ලබා දීමටත් පෙර සිටම ඔවුන්ගේ සේවාව ආරම්භ වී තිබූ බවයි.

මෙහිදී පෙනී යන කරුණක්‌ වී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ඒවායේ ප්‍රායෝගිකත්වයට වඩා යම්කිසි වෘත්තිය සමිතියක ප්‍රබලතාවය යන සාධකය මුල් කර ගෙන තීන්දු ගෙන ඇති බවයි. හෙද සේවාව මෙන්ම වින්නඹු සේවාවද අපගේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අත්‍යවශ්‍ය වූ සේවාවන් 2 කි. එම සේවාවන්ගෙන් එකක හෝ අඩු වටිනාකමක්‌ පවතී යෑයි කිව නොහැකි අතර එම සේවාවන් ඉදිරියේදී ද ජනතාවට අවශ්‍ය බව අමුතුවෙන් නොකිවමනාය.

එහෙත් උද්ගතව ඇති තත්ත්වය මත සිදුව ඇත්තේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේම ප්‍රබල වෘත්තීන් 3 ක්‌ එකිනෙකා හා ගැටීමට යැමෙන් ඔවුනොවුන් අතර අර්බුදයක්‌ නිර්මාණය වීමයි. මෙය නිදහස්‌ සෞඛ්‍ය සේවාවටද එතරම් හිතකර තත්ත්වයක්‌ නොවේ. හෙදියන් හා වින්නඹු මාතාවන් අතර හට ගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෘජුවම තම සහය වින්නඹු මාතාවන්ට ලබා දෙන බව පෙනී යයි. එහි අරමුණ සැබැවින්ම වින්නඹු මාතාවන්ගේ සේවාව ආරක්‍ෂා කිරීමද නැතහොත් හෙද සේවාවට ලබාදෙන සූතිකා පුහුණුව අවතක්‌සේරු කිරීමද යන්න පැහැදිලි නැතත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කර ඇති බොහෝ අදහස්‌ පිළිගත හැකි මට්‌ටමක පවතී.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව වෛද්‍ය ආඥ පනතෙහි 54 වැනි වගන්තිය යටතේ වෛද්‍යවරයකු හෝ වින්නඹු මාතාවකට හැරෙන්නට වෙනත් කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකුට සූතිකාගාරයක්‌ තුළ දරු ප්‍රසූති කටයුතුවලට දායක වීමට නොහැකිය. එය අදාළ වගන්තියෙන්ම තහවුරු කර තිබේ. මෙවැනි තත්ත්වයක්‌ යටතේ වර්තමානයේ සූතිකා පුහුණුව ලබන හෙදියකට තම පුහුණුවෙන් පසු සූතිකාගාරයක සේවයට යැමට හැකිදැයි යන ගැටලුව පැන නඟී.

වින්නඹු මාතාව මෙන්ම හෙදියන් අද රෝහල් සේවාවේ අතිශයින් වැදගත් වෘත්තිකයන් දෙදෙනෙකි. එසේ නම් වින්නඹු මාතාවන්ට ලබාදෙන සූතිකා පුහුණුව හෙදියන්ට ලබාදීමෙන් පසු එම හෙදියනට සූතිකාගාරයක සේවය කළ නොහැකි නම් ඔවුනට එවැනි පුහුණුවක්‌ ලබා දෙන්නේ මන්ද? යන ගැටලුව පැන නගී. මෙම පැනයට සෘජු පිළිතුරක්‌ ලබා නොදුන්නද රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය පවසනුයේ සූතිකාගාරවල හෙදියන්ටද සුවිශාල කාර්යභාරයක්‌ ඉටු කිරීමට ඇති නිසා ඔවුනට සූතිකා පුහුණුව ලබා දීම වරදක්‌ නොවන බවයි. එමෙන්ම හෙදියන් සූතිකා පුහුණුව ලැබුවද වින්නඹු මාතාවන්, තම සංගමය අවතක්‌සේරුවට ලක්‌ නොකරන බවත් ඔවුන්ද සේවයේ යෙදී සිටිය යුතු බව හෙද සංගමයේ ස්‌ථාවරය වී තිබේ.

මෙහිදී මෙම සේවාවන් කිසිවකුගේ මතයන් අවතක්‌සේරුවට ලක්‌ නොකළද මෙම හෙද, වින්නඹු, වෛද්‍ය යන සේවාවන්ට අයත් යහපත් අයුරින් රෝගීන්ගේ හිතසුව පිණිස ක්‍රියා කරන නිලධාරීන් මෙන්ම රෝගීන්ට කෙණෙහිලිකම් කරන නිලධාරීන්ද සිටින බව මෙහිදී මතක්‌ කළ යුතුමය. කුමන පුහුණුවක්‌ ලැබුවද තවමත් රජයේ රෝහල් හා ඒකකවලින් ඇහෙනුයේ හෙදියකගේ, වින්නඹු මාතාවකගේ එසේත් නැතහොත් වෛද්‍යවරයකුගේ වරදින් අකාලයේ මිය යන රෝගීන් පිළිබඳවයි. එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වරදකරුවන් වූ එක්‌ අයෙකුට හෝ දඬුවම් ලබා දුන් අවස්‌ථාවක්‌ මෙතෙක්‌ වාර්තා නොවීමද අභාග්‍යයකි.

මෙම සෑම වෘත්තිකයෙක්‌ම තමන් ලැබූ පුහුණුව රෝගීන්ගේ යහපත උදෙසා කැප කළ යුතු අතර රෝගීන්ට කාරුණිකව සැලකීමට කටයුතු කළ යුතුය. එසේ නොකර රෝගීන් බිල්ලට දී කුමන ඉල්ලීමක්‌ ලබා ගත්තත් කිසිදු ඵලක්‌ නොවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයද මෙම වෘත්තිකයන්ට පුහුණුව ලබා දීමේදී රෝගීන්ට කාරුණිකව සැලකීම, නිසි ප්‍රතිකාර සැපයීම වැනි ගුණාංගයන් ඔවුන් තුළ ප්‍රගුණ කරවීමට කටයුතු කළ යුතුය.

මේ වන විට සූතිකා පුහුණුව සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දරන ස්‌ථාවරයද ගැටලු සහගතය. එක්‌ අධ්‍යක්‍ෂවරයකු හෙදියන්ට සූතිකා පුහුණුව ලබා නොදෙන ලෙස නියෝග නිකුත් කරද්දී මේ වන විටත් නවක හෙද කණ්‌ඩායමකට ලබා දෙන සූතිකා පුහුණුව එලෙසම ක්‍රියාත්මකව පවතී. සෞඛ්‍ය ලේකම්වරයා එසේ හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන නැතැයි පැවසුවද මේ වන විටත් කාගේ හෝ අවසරයකින් එම පුහුණුව පැවැත්වේ. අපට වැටහෙන ආකාරයට නම් සූතිකා පුහුණුව හෙදියන්ට ලබා දීම පිළිබඳ තීරණයක්‌ ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී සිටිනුයේ කුමන පාර්ශවය වෙනුවෙන් දැයි කියා සොයා බැලිය යුතු බවයි. මන්ද මධ්‍යස්‌ථව කටයුතු කරන බව ප්‍රදර්ශනය කළද අමාත්‍යාංශ නිලධාරීන් එකිනෙකා එකිනෙකාට වෙනස්‌ මතයක්‌ මෙහිදී දරන බව පෙනී යැම මෙයට හේතුවයි.



* ඒමන්ති මාරඹේ
* තුෂාරී කළුබෝවිල


 http://www.divaina.com/2014/01/26/feature13.html

No comments:

Post a Comment