Tuesday, November 29, 2011

මහාචාර්ය ඒකකයට පොරොන්දුව දෙන තුරු රජරට වෛද්‍ය සිසුහු උපකුලපති සිර කරති

පොරොන්දුව ලැබී පැය තුනකට පසු මුදා හැරෙති

නිලන්ත මදුරාවල - පර්සි කුරුනේරු

රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය එකකය නොපිහිටුවීමට එරෙහිව එහි සිසුහු උපකුලපතිවරයා, පීඨාධිපතිනිය ඇතුළු ආචාර්යවරු පිරිසක්‌ ඊයේ (28 වැනිදා) පෙරවරුවේ පැය තුනක පමණ කාලයක්‌ වෛද්‍ය පීඨ පරිශ්‍රයේ බලහත්කාරයෙන් රඳවා තබාගත්හ.

මේ නිසා පීඨ පරිශ්‍රයේ උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගතව තිබිණි.

උපකුලපති මහාචාර්ය කේ. එ. නන්දසේන මහතා සමග ලේඛකාධිකාරි එ. ජී. කරුණාරත්න මහතා ද මිහින්තලේ පරිශ්‍රයේ සිට සාලියපුර පිහිටි වෛද්‍ය පීඨයට පැමිණ තිබුණේ වැඩමුළුවකට සහභාගිවීම සඳහාය. පීඨාධිපතිනි මහාචාර්ය මාලනී උඩුපිහිල්ල ඇතුළු ආචාර්යවරු ද ඊට එක්‌ව සිටියහ. වැඩමුළුව අවසන්වීමත් සමගම වෛද්‍ය පීඨයට ඇතුළු වන ගේට්‌ටුව වසා දැමූ සිසූහු මහාචාර්ය එකකය පිහිටුවීමට පියවර ගන්නැයි උපකුලපතිවරයා ඇතුළු පිරිසට බලකර සිටියහ. මහාචාර්ය එකකය පිහිටුවන දිනය පිළිබඳව පොරොන්දු වන තෙක්‌ පරිශ්‍රයෙන් ඉවත්වීමට ඉඩ නොදෙන බව මහාචාර්ය කේ. එ. නන්දසේන මහතා ඇතුළු පිරිසට සිසුහු දන්වා සිටියහ. දෙසැම්බර් මස 15 වැනිදා වන විට මහාචාර්ය එකකය විවෘත කර ජනවාරි මස පළමු වැනිදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ කරන බවට උප කුලපතිවරයා සිසුන්ට පොරොන්දු වූයේ පැය තුනකට පමණ පසුවය. ගේට්‌ටුව විවෘත කර උපකුලපතිවරයා ඇතුළු පිරිසට ඉවත්වීමට සිසුන් අවසර දුන්නේ එම පොරොන්දුවෙන් පසුවය.

වෛද්‍ය පීඨයේ මහාචාර්ය එකකය නොපිහිටුවීම නිසා සිය උපාධිය අවසන් කිරීමට නොහැකිව වෛද්‍ය සිසුහු 180 ක්‌ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. පසුගිය 15 වැනිදා වන විට එම එකකය පිහිටුවන බවට පරිපාලන අංශ පොරොන්දු වූ නමුත් මෙතෙක්‌ එම පොරොන්දුව ඉටු වී නැත.

ලබන මස 15 වැනිදා වන විට එකකය පිහිටුවන බවට දුන් පොරොන්දුවත් ඉටු නොවුණොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට සිසූහු අනතුරු අඟවති. සිසුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට උපකුලපතිවරයා හෝ ලේඛකාධිකාරිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.
Divaina 2011/11/29

No comments:

Post a Comment