Tuesday, November 29, 2011

ශ්‍රී ලංකා වෛද්‍ය සභා සභාපති ධුරය පිටස්‌තරයකුට දෙනවාට විරෝධය

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දැනට පුරප්පාඩුව පවතින සභාපති ධුරය සඳහා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ගැටලු ඇති වීමට හේතුවන විවාදාත්මක චරිතයකින් හෙබි වෛද්‍ය ක්‍ෂේත්‍රයන් බාහිර පුද්ගලයකු පත් කිරීමේ උත්සාහයක්‌ පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනී මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය බාරදී ඇති මොහොතක මෙසේ වෛද්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ හසල දැනුමක්‌ නොමැති එම ක්‍ෂේත්‍රයෙන් බැහැර පුද්ගලයකු අදාළ තනතුරට පත්කිරීමට රජය පියවර ගතහොත් එයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යොමුවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවැසීය. මෙම තත්ත්වය මත වෛද්‍ය සභාවේ සභාපති ධුරයට සුදුස්‌සෙකු තෝරා පත්කර ගන්නා තෙක්‌ සභාපති ධුරයෙන් ඉල්ලා අස්‌වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මියව එම තනතුරට පත් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් එම සංගමය ඉල්ලා ඇති බව කී වෛද්‍ය ගුණසේකර ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙම සිකුරාදා (25 වැනිදා) වනවිට විසඳුමක්‌ ලබා දෙන බවට ඇමැතිවරයා පොරොන්දු වී ඇතැයි සඳහන් කළේය.

මහාචාර්ය මෙන්ඩිස්‌ මහත්මිය විසින් භාර දුන් සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගෙන ඇතිමුත් වෛද්‍ය සභාව රාජ්‍ය ව්‍යවසායකයක්‌ ලෙස සලකා කටයුතු කරන බව දක්‌නට ඇතැයි ද වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවයේ ප්‍රමිතිය ආරක්‌ෂා කරන ස්‌වාධීන ආයතනයක්‌ මිස දේශපාලන පත්වීම් ලබා දෙන ආයතනයක්‌ නොවන බව මතක තබා ගත යුතු බව වෛද්‍ය ගුණසේකර අවධාරණය කළේය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් වෛද්‍ය ගුණසේකර මෙම කරුණු ප්‍රකාශ කළේය.
Divaina 2011/11/29

No comments:

Post a Comment