Monday, November 14, 2011

ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය අදට (14 දා) යෙදී ඇත. බෝ නොවන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා බෝ නොවන රෝග වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව වෙළඳපොළේ අලෙවි කරන ආහාරවල සීනි ප්‍රමාණය සියයට 10 කට වඩා අඩු කිරීමේ නීති රීති මේ ජාතික ප්‍රතිපත්තිය මඟින් ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෙළඳපොළේ දැනට අලෙවි කරන සිසිල් බීම, පැකැට් කළ කිරි වර්ග හා වෙනත් ආහාර වර්ගවල සියයට 80 ක් පමණ සීනි අඩංගු වන බවත් දියවැඩියා රෝගයට ගොදුරු වන පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහළ යාම කෙරෙහි වෙළඳපොළේ අලෙවි කරන මේ ආහාර භාවිතය ප්‍රධාන හේතුවක් බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
අධික ලෙස සීනි භාවිතය දියවැඩියා රෝගයට ගොදුරුවීම කෙරෙහි බලපාන්නේ යැයි ද දියවැඩියා රෝගය සියලුම රෝගවල මව ලෙස හැඳින්විය හැකි බවත් ඇමැතිවරයා කීය.
මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ දෙනා දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත.
වසර 2025 වන විට මේ ප්‍රමාණය දෙගුණ වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ සියවසේ දරුණුම රෝගය ලෙස දියවැඩියා රෝගය හඳුන්වයි. ඒ අනුව වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක් ද පවතියි.
ආහාර හා චර්යා රටාවන්හි ඇතිව තිබෙන වෙනස්කම් විශේෂයෙන්ම දියවැඩියා රෝගයට හේතුවන බවත් ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට් හා සීනි අවම කර ගැනීම රෝග පාලනයට ප්‍රධාන හේතුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
සමබල ආහාර වේලක් ලබාගැනීම, අවශ්‍ය පරිදි ශාරීරික ව්‍යායාම්වල යෙදීම හා උසට සරිලන බර පවත්වාගෙන යාම දියවැඩියාව පාලනය කිරීමට හැකි හොඳම ක්‍රමවේදය වේ.

Dinamina 2011.11.14

No comments:

Post a Comment