Tuesday, November 29, 2011

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ මධ්‍යස්‌ථ ආකල්පයක ප්‍රායෝගිකත්වය

පෞද්ගලික විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීම පිළිබඳ මාතෘකාව මාලබේ වෛද්‍ය විද්‍යාලයත් සමඟ නැවත පුළුල් සංවාදයකට ලක්‌වී තිබේ. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්‌වා මෙම ගැටලුවට විවිධ ආකාරවලින් විවිධ දෘෂ්ඨිකෝණවලින් සාකච්ඡා කරනු පෙනෙයි. මධ්‍යයේ දෘෂ්ඨියකින් ඉහත කී අංශද්වයම විමසන විට පැහැදිලි වන ප්‍රධාන කරුණු දෙකකි. ආණ්‌ඩුව ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික විශ්වවිද්‍යාල කෙසේ හෝ ස්‌ථාපිත කරන්නේය යන දැඩි ස්‌ථාවරයේ පසුවන අතර මේ ක්‍රියාදාමයට විරුද්ධවන්නෝ කෙසේවත් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට එකඟ නොවන බවත් ඒ සඳහා අවකාශ ලබා නොදෙන බවත් ප්‍රකාශ කරති. මෙම ප්‍රශ්නය දෙස සමස්‌ත පුරවැසියන් බලන්නේ මෙම අන්ත දෙකට අනුව පමණක්‌ නම් පවත්නා තත්ත්ව යටතේ තෝරගත හැක්‌කේ එක්‌ තීරණයක්‌ පමණි. ආණ්‌ඩුව විසින් කෙසේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට විරුද්ධවන්නන් ජයගෙන කිසිම තත්ත්වයක්‌ යටතේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි නොවීම සිදුවනු ඇත.

සිතීමේ හැකියාව සහිත සෑම කෙනෙක්‌ම සිතිය යුත්තේ ජාතික අවශ්‍යතා සමඟ සම්බන්ධ ගැටලුවක්‌ පිළිබඳව විමසිය හැකි එකම දෘෂ්ඨිකෝණය මෙය යන කරුණයි. "කෙසේ හෝ කරමි" හා "කුමන තත්ත්ව යටතේවත් සිදු කරන්නට ඉඩ නොදෙමි" යන ස්‌ථාවර දෙකේම ඇත්තේ එකම ආකාරයක අන්තගාමී ස්‌වරූපයකි. මෙවැනි අන්තවාදී ස්‌ථාවරයකින් ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න විසඳීමට යැමේදී තාවකාලික ජයග්‍රහණය කුමන පක්‍ෂයකට හිමි වුවත් එහි අවසන් ප්‍රතිඵලය විඳගන්නට සිදුවන්නේ සමස්‌ත රටවැසියාටමය. අධ්‍යාපනයේදී නම් මෙම පාඩුව විඳින්නට සිදුවන්නේ ලංකාවේ වර්තමාන හා අනාගත පුරවැසියන්ටය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බිහිවන සියලු උපාධිධාරීන් 100% ක ගුණාත්මක භාවයකින් යුතු යෑයි කෙනකුට උපකල්පනය කළ හැකිය. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් පිටත්වන සියලුම වෛද්‍යවරුන් එක හා සමාන ගුණාත්මක බවින් යුක්‌ත යෑයි මේ අනුව කෙනකුට පහසුවෙන් නිගමනය කළ හැකිය. එසේම පෞද්ගලික ආයතන හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් බිහිකරනු ලබන උපාධිධාරීන් සියල්ලෝම ගුණාත්මක භාවයෙන් තොර යෑයි කෙනකුට උපකල්පනය කළ හැකිය. මෙම උපකල්පනය පිළිගත් විට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයකින් උපාධි නොලත් සියල්ලෝම ගුණාත්මකභාවයෙන් හීන යයි විශ්වාසයක්‌ ගොඩනඟා ගත හැකිය.

මෙවැනි උපකල්පන හා විශ්වාස පිළිබඳ කිහිප අංශයකින් විමසිය යුතුය. මෙම තර්ක කිරීම සැබැවින්ම සාධාරණද? මෙවැනි උපකල්පනයකට පැමිණීම සඳහා භාවිත කරන හෝ භාවිත කළ නිර්ණායක මොනවාද? ඒ නිර්ණායක පදනම් කොටගෙන විද්‍යාත්මක පර්යේෂණ සිදුකර තිබේද? ඒ පර්යේෂණවල දී ඉහත කී උපක්‌ලපනය තහවුරු වී තිබේද? එසේ නැතහොත් ක්‍ෂේත්‍රය කුමක්‌ වුවත් වෛද්‍යවරයා, ඉංජිනේරුවා, ගුරුවරයා ආදී විවිධ උපාධිධාරීන්ගෙන් සේවාව ලබන පාරිභෝගිකයාගෙන් ඔවුන්ගේ සේවය පිළිබඳ ප්‍රමාණාත්මක ඇගැයීමක්‌ ගනු ලැබ්වේද? ආදී ප්‍රශ්න රැසක්‌ නැඟිය යුතුව ඇත. මේ සියලුම ප්‍රශ්නවලට අපක්‌ෂාපතී පිළිතුරු ලබා නොගෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්‌ ලංකාවේ බොහෝ කල් ක්‍රියාත්මක වී ඇති බැවින් හෝ අධ්‍යාපනය උදෙසා රජයෙන් මුදල් වැය කළ යුතුමය යන උපකල්පනයේ සිටිමින් හෝ නිගමනයන්ට පැමිණීම ප්‍රායෝගික බුද්ධියට තරම් නොවන බව අපගේ වැටහීමයි. මේ බව සනාථ කිරීම ඉහත සඳහන් කළ දෙපාර්ශ්වය විසින් නිරතුරුව භාවිතා කරන නිදර්ශන කිහිපයක්‌ පිළිබඳ විමසා බලමු.

ආණ්‌ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන තර්කය වන්නේ පෞද්ගලික බැංකු හඳුන්වා දුන් පසු රාජ්‍ය බැංකු ද නවීකරණය වී වැඩි වැඩියෙන් පාරිභෝගික කේන්ද්‍රීය, පාරිභෝගික හිතවත් ආයතන බවට පත්වූ පරිදි පෞද්ගලික විශ්වවිද්‍යාල හඳුන්වා දුන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාල ද වඩාත් තරගකාරීව නූතන ලෝක අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංවර්ධනය වනු ඇති බවයි. මෙහි යම් සත්‍යතාවක්‌ තිබේ. යම් ආයතනයක තරගකාරිත්වය තීව්‍ර වන්නේ තමන්ගේ ස්‌ථානය තහවුරු කර ගැනීමට ගනු ලබන උත්සාහ කරන විටයි. අභියෝගයන්ට මුහුණ දුන් විට සිය පැවැත්ම උදෙසා ඒවා ජයගැනීමට ක්‍රියා කිරීම සහජ සත්ත්ව ස්‌වභාවයකි. එවන් තත්වයක්‌ තුළ යම් ආයතනයක සේවක සේවිකාවන්ටත් නිලධාරීන්ටත් පැහැදිලි වන්නේ අභියෝග හඳුනා නොගෙන, පාරිභෝගිකයා අවධානයට නොගෙන ක්‍රියාකළහොත් තම රැකියාව ද අනතුරේ වැටෙන බවයි. මේ තර්කයේ සාධාරණ බව, වලංගුභාවය මීට දශකයකට පෙර පැවැති රාජ්‍ය බැංකු, ඒවායේ ප්‍රායෝගික සේවාව, ඒවායේ ව්‍යqහය ආදී ඕනෑම අංශයක්‌ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ඒවායේ නූතන පරිවර්තනය දෙස බැලීමෙන් පැහැදිලි වේ. එවැනි සාර්ථක හඳුන්වාදීම් හා ඒවාට අනුගත වීම නිසා කොතරම් ශක්‌තිමක්‌ පෞද්ගලික බැංකු ආරම්භ වුවද රාජ්‍ය බැංකු රටේ ප්‍රධානම බැංකු ලෙස තවදුරටත් ක්‍රියාත්මක වීමට සමත්වී ඇත. එහිදී තහවුරු වන්නේ තරගකාරිත්වය හමුවේ නිවැරදි පරිදි සකස්‌ වූ විට අභියෝග තවදුරටත් අභියෝගයක්‌ නොවන බවයි. අභියෝග ජීවිතාන්තය දක්‌වාම අභියෝගයක්‌ බවට පත්වන්නේ අවශ්‍ය අවස්‌ථාවේ අවශ්‍ය පරිදි කැප වී ක්‍රියා නොකරන අයට පමණි. අලස නොවී තම වගකීම පිළිබඳ නිවැරදි වැටහීමක්‌ ඇති. පාරිභෝගිකයාගේ අවශ්‍යතා පිළිබඳ සැලකිලිමත් වීමේ නිවැරදි ආකල්පය සහිත මිනිසුන් සිටින විට ආයතනයක්‌ වෙත පැමිණෙන අභියෝග හා තර්ජන ආශිර්වාදයක්‌ බවට පත්වනු නිසැකය. වර්තමාන ලංකාවේ රාජ්‍ය බැංකු මීට කදිම නිදර්ශනයකි.

මේ යහපත් අරමුණ ඇතිව හෝ නැතිව ආරම්භ කරන ලද පෞද්ගලික ප්‍රවාහන සේවය හා රාජ්‍ය ප්‍රවාහන සේවය, රාජ්‍ය බැංකු ශක්‌තිමත්ව නැගුන, පරිදි නැගී සිටීමට සමත්වී නොමැති බව මෙහි දී අවධානයට ලක්‌විය යුතුය. එහිදී සිදුවී ඇත්තේ මෙම අංශ දෙකම ගුණාත්මක අතින් පහළ වැටීමයි. පොදු ප්‍රවාහනයේ සේවාව ලබන පාරිභෝගිකයන්ට මෙම අංශ දෙකෙන්ම හිමිව ඇත්තේ අනාරක්‌ෂිත බව හා අපේක්‌ෂා භංගත්වය පමණි. පොදු ප්‍රවාහන සේවාවට අයත් බස්‌ රථයකට නැගුණු අවස්‌ථාවේ සිට ඉන් බැස ගන්නා තුරු පාරිභෝගිකයාට ඇත්තේ සිය ජීවිතය පිළිබඳ අනාරක්‌ෂිත හැඟීමකි. කොන්දොස්‌තර මහතාගේ සියලුම පරුෂ වචන අසමින් රියෑදුරු මහතාගේ අනවශ්‍ය හා අනාරක්‌ෂිත පැදවීමෙන් හෙම්බත් වෙමින් ගමන් කරන මගියාගේ සදාතනික ප්‍රාර්ථනය බවට පත්වී ඇත්තේ මෙම ප්‍රවාහන සේවය මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ගත හැකි ශිෂ්ට සම්පන්න ප්‍රවාහන සේවයක තත්ත්වයට කවදා පැමිණෙන්නේද යන්නයි. එහෙත් මෙම අපේක්‌ෂාව දශක ගණනක සිට මේ වන තුරුත් තවත් එක්‌ කඩවුණු පොරොන්දුවක්‌ පමණක්‌ බවට පත්වී ඇත. බැංකු සංවර්ධනය කිරීමේදී උපයෝගී කර ගත් තරගකාරිත්වය යන සුවිශේෂ කරුණ මෙහිදී ද උපයෝගී කර ගැනුණි. ජාතික ප්‍රවාහන අධිකාරියෙන්ද මේ සඳහා විවිධ උත්සාහයන් ගනු ලබන බව විවිධ මාධ්‍ය ඔස්‌සේ වරින් වර ප්‍රකාශ විය. එහෙත් මගියා තවමත් අපේක්‌ෂා භංගත්වයට පත් මගියෙක්‌ පමණි. මිනිසුන් පවසන පරිදි රාජ්‍ය ප්‍රවාහන සේවය ද බොහෝ අවස්‌ථාවන්හිදී පෞද්ගලික අරමුණු සඳහා මේ වනවිට යටපත්වී අවසන්ය. රාජ්‍ය ප්‍රවාහන සේවයට අයත් ඇතැම් බස්‌ රථවල ගමන ආරම්භ කරන වේලාව, ගමනාන්තය තෙක්‌ යැම සඳහා ගතයුතු කාල සීමාව තීරණය කරනුයේ ඒ හා සමීප වෙලාවක එම මාවතේම ගමන් කරන පෞද්ගලික බසයෙන් දෙනු ලබන සොච්චම් මුදල විසිනි. ඒ රාජ්‍ය සේවයට අයත් බසයට අත්වී ඇති තරගකාරිත්වයේ ඉරණමයි. පෞද්ගලික බස්‌ රථ මුළුමනින්ම පාහේ තවත් එක්‌ මාෆියා ව්‍යාපාරයක්‌ වී අවසන්ය. කොටින්ම කිවහොත් ජනතා සේවයට යෙදවුනු බස්‌ රථය ඉන්ධන සැපයීම සඳහා පිරවුම්හලට යන්නේ මිනිසුන් පුරවාගෙනය. බස්‌ රථය ඉන්ධන පුරවාගෙන ඒ සඳහා පෝළිමේ සිට, කැමැති කැමැති තැන නවතමින් රියෑදුරුට හා කොන්දොස්‌තරට රුචි පරිදි ගමන් කරන තෙක්‌ සියලු මිනිසුන් ඉවසා දරා සිටිය යුතුය. ඊට විරුද්ධවන්නන් පරුෂ වචන ඇසීමට හෝ බසයෙන් බැස යැමට සූදානම් විය යුතුය. නැතහොත් කොන්දොස්‌තර මහතාගෙන් ශාරීරික ප්‍රහාර දරා ගැනීමට සමත්කම් තිබිය යුතුය. මේ අනුව පැහැදිලි වන අතිශයින් වැදගත් කරුණක්‌ ඇත. අරමුණු යහපත් වුවත් පෞද්ගලික අංශයට ඉඩදීම නමැති එක්‌ ක්‍රියාවකින් පමණක්‌ රාජ්‍ය අංශය ස්‌වභාවිකවම ගුණාත්මක අතින් සංවර්ධනය වේ යෑයි උපකල්පනය කිරීම සාවද්‍යය. ආදායම ප්‍රධාන අරමුණ කොටගත් පෞද්ගලික ව්‍යාපෘති හඳුන්වාදීමේ දී ඒවායේ ගුණාත්මක බව ආරක්‌ෂා කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයෙන්ම කළ යුතු වේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සමස්‌තයක්‌ ලෙසම හෙළා දැක ප්‍රතික්‌ෂේප කිරීම මෙහි අනෙක්‌ අන්තය නියෝජනය කරයි. එවැනි විරුද්ධවාදීන් ද කරනු ලබන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඇති කළ හැකි ගුණාත්මක බව දැන දැනම ඒ යහපත් අරමුණ ද බැහැර කිරීමයි. අපගේ වර්තමාන අධ්‍යාපනයේ ආකෘතීන් හා ව්‍යqහයන් බටහිරින් ණයට ගත් ඒවා බව අප කිසිවිටකත් බැහැර කළ නොහැකි කරුණුය. ඒවා අපේ රටට යම් පමණකට හෝ ගැලපෙන ආකාරයකට අප විසින් ප්‍රතිසංස්‌කරණය කරගත් බව සත්‍යයකි. එහෙත් මේ වනවිටද අප විසින් උගන්වනු ලබන බොහෝ අධ්‍යාපන සංකල්ප, ඉගැන්වීමේ ක්‍රමවේද හා අධ්‍යාපනයට සම්බන්ධ බොහෝ උපකරණ හා අංගෝපාංගද පිටරැටියන්ගෙන් ගත් ඒවා බව කරුණු දත් කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එසේම බොහෝ විදේශ රටවල මෙවැනි අධ්‍යාපන සංකල්ප, ක්‍රමවේද හා තාක්‌ෂණික මෙවලම් භාවිත කිරීම මගින් අධ්‍යාපනයේ ඉහළ හිනිපෙත්තටම නැග ඇත. ලෝකයේ සියලු රටවල අධ්‍යාපනයේ කේන්ද්‍රය හසුරුවන්නේ රජය විසින් යයි සිතීම සැබැවින්ම මුළාවකි. ලංකාවේ අධ්‍යාපනය ද මුළුමනින්ම පෞද්ගලික අංශයට භාරදිය යුතු බව හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල දියකර හැරීමේ ව්‍යාපෘතියක්‌ ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුය යන සාවද්‍ය ක්‍රියාවට අනුබල දීමක්‌ මේ ලිපියෙන් සිදු නොකරන බව ද පැහැදිලිව සටහන් කළ යුත්තේ එසේ නොවුවහොත් අපගේ අදහස්‌ වුවත් එක්‌ අන්තයක මතයක්‌ සාධාරණීකරණය කිරීමට ඇතැමුන් විසින් යොදා ගැනීමට ඉඩකඩ තිබෙන බැවිනි.

කුමනාකාර කොන්දේසි යටතේ වුවද කුමනාකාර අවශ්‍යතා සපුරාලුව ද පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වැරදි යයි ප්‍රකාශ කිරීම දරුවාද සමඟ වතුර බේසම විසිකර දැමීමට නොදෙවෙනිය. කෙසේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නෙමු යයි ආණ්‌ඩුව උත්සාහ කරද්දී අනෙක්‌ පිරිස ඉහත මතය දරන විට සිදුවන්නේ එක්‌ පිරිසක්‌ ඉක්‌මන්වීමයි. එම ඉක්‌මන්වීම මෙම ක්‍රියාවලිය හදිසි තීරණයක්‌ වෙත ගෙන යැමට හේතු වේ. මෙහිදී කෙසේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවන්නේය යන මතයෙන් ආණ්‌ඩුව ක්‍රියාකළහොත් සිදුවන්නේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌විය යුතු අත්‍යවශ්‍යම කරුණු වන උපාධියේ ගුණාත්මක බව යන කරුණු පිළිබඳ අවධානය ගිලිහී යැමයි. දෙපිරිසගේ කඹ ඇදිල්ල අවසානයේ මෙවැනි හදිසි තත්ත්වයකට විශ්වවිද්‍යාල පද්ධතිය තල්ලුකර දැමුව හොත් එහි එකම වැරදිකරු ලෙස ආණ්‌ඩුව නම් කිරීම සපුරාම පදනම් විරහිතය. එවැනි තත්ත්වයකදී වැරදිකරු ආණ්‌ඩුව පමණක්‌ නොවන බව සාධාරණීකරණය කිරීම සඳහා අවශ්‍ය තරමටත් වඩා තර්කානුකූල කරුණු පහසුවෙන් ඉදිරිපත් කළ හැකිය.

රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කිරීම. නව රාජ්‍ය විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තුළින් පමණක්‌ උසස්‌ පෙළ සමත්වන සියලුම සිසුන්ට සමාන අවස්‌ථා හිමිවන බව කල්පනාකිරීම ප්‍රායෝගික නැත. එහෙත් ණය බරින් පෙළෙන, සුබසාධන රජයක්‌ වන ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයක්‌ අපේක්‌ෂා කිරීම ප්‍රායෝගික විසඳුමක්‌ වෙත ළඟාවීමට අපහසු ප්‍රවේශයකි. එවැනි තත්ත්වයක්‌ තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පමණක්‌ උපාධිධාරීන් බිහි කළ යුතුය යන තර්කය ප්‍රායෝගික නොවන තර්කයක්‌ බවට පත් වේ.

කලා, විද්‍යා ආදී ඕනෑම උපාධියක්‌ රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් ලබාගත් පමණින් ඒවා ගුණාත්මක වේ යෑයි උපකල්පනය කිරීම පදනම් රහිතය. රජයේ රෝහල්වල බොහෝ යහපත් වෛද්‍යවරුන් සිටින අතරම තම රාජකාරියට වඩා පෞද්ගලිsක වෙද මැදුර අගයන ඒවායේම වැඩිකලක්‌ සේවාව සැපයීමට ඇබ්බැහි වූ අප්‍රමාණ වෛද්‍යවරු ප්‍රමාණයක්‌ ද සිටිති. ශාස්‌ත්‍රවේදී උපාධිය රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධිධාරීන් අනුයුක්‌ත කළ ඇතැම් ආයතනයන්හි ප්‍රධානීන් පවසන්නේ තමන්ට අවශ්‍ය සේවය ලැබීමට තරම් ඔවුන් සුදුස්‌සන් නොවන බවයි. එසේ අනුයුක්‌ත කරන ලද්දේ ද උපාධිධාරීන් විසින් ප්‍රාගුණ්‍යයක්‌ ගොඩ නඟා ගත් ක්‍ෂේත්‍රයකට නොවීමද ගැටලුවක්‌ බව සැබෑය. එසේ වුවත් තමන්ට පැවරුණු කාර්යය ඉටුකිරීමට අවශ්‍ය කැපවීම, ආකල්ප හා කුසලතා යන සියලුම අංශවල කඩාවැටීමක්‌ සැලකිය යුතු ප්‍රමාණයක උපාධිධාරී රැකියාධාරීන් තුළින් ප්‍රකට වීම මෙම අසාර්ථකත්වයට බලපෑ සැබෑ හේතුව බව ඔවුන් පෙන්වා දේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් අනුයුක්‌ත කරගත් ආයතනවල ඔවුන්ගේ සේවයේ ගුණාත්මක භාවය පිළිබඳ නිසි පර්යේෂණයක්‌ සිදුකළහොත් මෙහි සැබෑ ස්‌වරූපය පිළිබඳ අවබෝධයක්‌ ලැබෙනු ඇත. මින් අදහස්‌ කරන්නේ රජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් ඵල රහිත බව නොවේ. උපාධිය පිරිනමනු ලබන ආයතනයේ ප්‍රමිතිය සේම ඒ ඒ පුද්ගලයා සතු ආකල්ප, සමාජය හා වගකීම පිළිබඳ ඔහු සතු අවබෝධය ආදී කරුණු ද මෙහි දී අවධානයට ගත යුතුය. එබැවින් ආයතන රාජ්‍ය වූ පමණින් ගුණාත්මක බව බිහිවේ යයි උපකල්පනය කිරීම විහිළුවක්‌ පමණි. ආයතනය රාජ්‍ය වුවත් රාජ්‍ය නොවූවත් එම ආයතනයේ ව්‍යqහය, පරිපාලනය හා එමගින් දෙනු ලබන අධ්‍යාපනයේ සාර්ථක හෝ අසාර්ථක බව අනුව ඉන් බිහිවන ප්‍රතිඵලයේ ගුණාත්මක බව හෝ පිරිහීම තීරණය වේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල හඳුන්වාදීමෙන් නිදහස්‌ අධ්‍යාපනය අවසන් වන බව තර්ක කිරීම සාධාරණද? පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය දරනු ලබන වියදමට සමාන ප්‍රමාණයක්‌ හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට දෙමාපියන් විසින් ගෙවනු ලබන බව බැහැර කළ හැකි සත්‍යයක්‌ද? පාසලේ පළමු වසරේ සිට උසස්‌ පෙළ දක්‌වාම ශිෂ්‍යයන් පෞද්ගලික පන්ති සඳහා සහභාගි නොවන්නේද? ශිෂ්‍යයා වඩාත් උනන්දුවෙන් සහභාගි වන්නේ පාසලේ පන්තියටද නැතහොත් පෞද්ගලික පන්තියටද යන්න බොහෝ ශ්‍රී ලාංකේය මාපියවරු හොඳින් දනිති. පාසලේ උගන්වන ගුරුවරුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය හීනවීමකින් ළමයින් පෞද්ගලික පන්ති කරා ඇදී යන්නේද? අවධිමත්ව තැන තැන්වල පවත්වාගෙන යන්නාවූත්, නිශ්චිත ජාතික අරමුණු හෝ සැලසුම් නොමැතිව මෙහෙයවන්නාවූත්, පෞද්ගලික අධ්‍යාපන ආයතන මගින් වර්තමාන ශ්‍රී ලාංකික සිසුන්ගේ ඔළුගෙඩි සකස්‌ කෙරෙන බව කිසිවෙකුට හෝ සාක්‌ෂි සහිතව බැහැර කළ හැකිද? විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූ උපාධි අපේක්‌ෂකයන්ගෙන් කී දෙනෙක්‌ එම අධ්‍යයනයන් කරමින්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන ගැනීම උදෙසා හෝ වෙනත් දැනුම් සම්පාදනය පිණිස පෞද්ගලික පන්තිවලට සහභාගිවේද? එවැනි පන්ති පවත්වනු ලබන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය කිසිවෙක්‌ විසින් හෝ පරීක්‍ෂා කර බලා ඇත්ද? ලක්‌ෂ ගණනින් මුදල් සොයන එවැනි පෞද්ගලික ආයතනවල ධනයෙන් රජයට නිසි අය බදු අයකර ගෙන තිබේද? නිදහස්‌ අධ්‍යාපනය යන වචනය නිතර තොරොම්බල් කරන එහි ආරක්‌ෂකයන් යයි පෙනී සිටින පිරිස්‌ ඒ පිළිබඳව වචනයක්‌වත් කතාකිරීමට තරම් පසුබටවන්නේ ඇයි?

ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් බහුතරය තම රාජකාරිය නිවැරදිව කරන බව සත්‍යයකි. එසේ වුවත් බොහෝ වෛද්‍යවරුන්ගෙන් දවසෙන් වැඩි කාලයක්‌ ගතවන්නේ පෞද්ගලික සායන සඳහාය යන සත්‍ය කරුණ ලංකාවේ සෑබෑව දන්නා වූ කිසිවෙක්‌ විසින් හෝ ප්‍රතික්‌ෂේප නොකරන බව සැබෑ කරුණකි. මේ ප්‍රශ්නය වෛද්‍ය උපාධියේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවෙතැයි යමෙකුට ප්‍රති තර්කයක්‌ නැගිය හැකිය. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් පමණින් උපාධියේ ගුණාත්මක බව තහවුරු වන්නේ ද යන්න එක්‌ වරක්‌ නොව කිහිපවරක්‌ සිතිය යුතු ප්‍රශ්නයකි. වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන්නේ එමගින් පිරිනැමීමට යන උපාධියේ ගුණාත්මක බව උදෙසා නම් ඔවුන්ගේ එම සද් උත්සාහයට මිනිසුන්ගේ ජීවිතවලට ගරු කරන කිසිවෙක්‌ විරුද්ධ නොවෙනු ඇත. එසේ වුවත් සාමාන්‍ය මිනිසාගේ සිට බොහෝ දෙනකු වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධවීම පිළිබඳ සිතන්නේ මෙහි විරුද්ධ පැත්තය. වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය ප්‍රතිශතය රෝගීන්ගේ ප්‍රමාණයට සාපේක්‌ෂව ප්‍රමාණවත් නොවීම නිසා මේ වනවිට ලංකාවේ සිටින වෛද්‍යවරුන්ට රටේ සිටින සියලු රෝගීන් පිළිබඳ වගකීම හිමි වේ. ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල රෝගීන් 100 කට ප්‍රතිකාර කිරීම සඳහා සිටින්නේ වෛද්‍යවරුන් අටක්‌ පමණ නම් පෞද්ගලික සායන සඳහා රෝගීන් පැමිණීමේ සම්භාවිතාව නිතැතින්ම ඉහළ යයි. එවිට වැඩි රෝගීන් ප්‍රමාණයක්‌ සිටීමේ වරප්‍රසාදය ලැබෙන්නේ කාටද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහි විරුද්ධ පැත්ත නම් වෛද්‍යවරු වැඩිවන තරමට එක්‌ වෛද්‍යවරයකු සඳහා සාමාන්‍යයෙන් යොමුවන රෝගීන් සංඛ්‍යාව අඩුවීමයි. මෙම ප්‍රවණතාව වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ආර්ථික අංශයෙන් සලකන විට ඔවුන්ට අවාසිදායකය. වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිවීම රෝගීන්ගේ පැත්තෙන් නම් අතිශයින් යහපත්ය. මින් අදහස්‌ කරන්නේ සුදුසුකම් රහිතව කුමන ස්‌ථානයකින් හෝ වෛද්‍ය උපාධිය ලබාගත් වෛද්‍යවරුන්ට රෝගීන්ගේ වටිනා ජීවිත බාරදිය යුතු බව නොවේ. එසේ වුවත් සුදුසුකම් ලත් ගුණාත්මක බව උපරිමයේ සිටින්නේ යෑයි සමාජ පිළිගැනීමක්‌ ද සහිත ඇතැම් වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම් හෝ වෙනත් අතපසුවීම් නිසා සැලකිය යුතු ප්‍රමාණයක්‌ අසරණ රෝගීන් ජීවිතවලින් වන්දි ගෙවූ බවත් තවමත් එය ඇතැම් ස්‌ථානවල සිදුවෙමින් පවතින බවත් කිසිවකු ප්‍රතික්‌ෂේප නොකරන සත්‍යයකි. එන්නත් මාරුවීම, ඖෂධ විෂවීම, බැන්ඩේඡ් මාරුවීම ෙමැවනි නොසැලකිලිමත් හා අතපසුවීම්වලින් කිහිපයක්‌ පමණි. එහෙත් මේ කිසිදු අවස්‌ථාවක රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිවාසිකම හෝ ජීවත්වීමේ අයිතිවාසිකම වෙනුවෙන් කිසිදු වෛද්‍ය සභාවක්‌ හෝ වෛද්‍ය කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වී නොමැති බව රෝගීන්ගේ පාර්ශ්වයෙන් නැගෙන අඳෝනාවයි.

මාලබේ වෛද්‍ය විද්‍යාලය යන සුවිශේෂී ගැටලුවට අවධානය යොමු කළහොත් ඒ පිළිබඳව බොහෝ තොරතුරු සාකච්ඡා කළ යුතුව ඇත. රෝහලක්‌ නොමැතිවීම, රෝගීන් පරීක්‍ෂා කිරීමේ ශික්‌ෂණ රෝහලක්‌ නොමැතිව වෛද්‍ය උපාධියක්‌ පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකිය. අන්තර් ජාතික වශයෙන් පිළිගත් වෛද්‍ය උපාධි පාඨමාලාවක රෝගීන් පරීක්‍ෂා කිරීම ආශ්‍රිතව අධ්‍යයන කටයුතු කළ යුතු නිශ්චිත කාල සීමාවක්‌ තිබිය යුතුමය. යම් ආයතනයක්‌ එම නිර්ණායක අවධානයට නොගෙන අත්තනෝමතිකව ක්‍රියාකොට වෛද්‍ය උපාධි ලබා දේ නම් ඒවා පිළිබඳ පොදුවේ සියලුම මිනිසුන් විරුද්ධ විය යුතුමය. වෛද්‍ය සභාව විසින් මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරුද්ධවන්නේ මෙවැනි ගුණාත්මක කරුණු නිවැරැදි කළ යුතු බවට යෝජනා කිරීමට නම් සැබැවින්ම අප ද වෛද්‍ය සභාව සමඟ එකඟය. එසේ නොමැතිව රෝගියාට පෙර වෛද්‍යවරයා, රටට පෙර වෛද්‍යවරයා පිළිබඳව සිතිය යුතු බව ඔවුන් උපකල්පනය කර ක්‍රියාකරන්නේ නම් අපි ඔවුන්ට විරුද්ධ වෙමු.

රජයේ විශ්වවිද්‍යාලවල උපාධියේ ගුණාත්මක බව පිළිබඳ නැවත අවධානය යොමු කිරීම පිණිස වර්තමානයේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන බාහිර උපාධි පාඨමාලා පිළිබඳ නැවත සිතා බැලීම ප්‍රයෝජනවත්ය. බාහිර උපාධි සඳහා අධ්‍යයන කටයුතු කරනු ලබන ශිෂ්‍යයන්ට ප්‍රමාණවත් හා ගුණාත්මක දේශන හා ඉගෙනීමේ අවස්‌ථා අහිමිය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ පුස්‌තකාල පොත් පරිහරණයට ඔවුනට අවස්‌ථාවක්‌ බොහෝ විට නොමැත. ආචාර්යවරයෙකු හමුවී අධ්‍යාපන ගැටලු විස¹ ගැනීමට හා උපදෙස්‌ ලබා ගැනීමට අවස්‌ථාව නැත. එහෙත් කෙසේ හෝ ඔවුන් උත්සාහ ගෙන උපාධිය සමත් වෙති. දශක කිහිපයක්‌ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් බාහිර උපාධි ලබාදුන්නේ මෙම ක්‍රමවේදය හරහාය. එසේ ප්‍රදානය කරන ලද උපාධිවල ගුණාත්මක බව අඩුවී නැත්ද? ඒවායේ ගුණාත්මක භාවය අවම වී ඇත්නම් ඊට වගකිව යුත්තේ එම අසරණ සිසුන් ද නැතහොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා ආණ්‌ඩුව නොවේද? මෙම උපාධිධාරීන්ගේ සේවාවන් අධ්‍යයනය කොට යම් යම් අඩුපාඩු තිබේ නම් ඒවා මඟහරවාලීමට මේ වන තෙක්‌ කිසියම් වූ පියවරක්‌ අදාළ නිලධාරීන් විසින් ගෙන තිබේද? එසේ සිදුකොට ඇද්දැයි සෙවීමේ වගකීම සහිත අමාත්‍යාංශ නිලධාරීන් එය සිදු කර තිබේද? අදාළ ඇමැතිවරුන් හෝ ආණ්‌ඩු ඒ යුගයන්හි මේ සඳහා ප්‍රතිපාදන හා චක්‍රලේඛන සම්පාදනය කිරීම තබා ඒ පිළිබඳ අවධානයක්‌වත් යොමු කොට තිබේද? යන්න නැවතත් විමසා බැලිය යුතුය.

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ යම් යම් අඩුපාඩු තිබේ නම් එය පදනම් කරගෙන කුමන අවශ්‍යතා සපුරාලුවද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යයි තර්ක කිරීමේ හිස්‌ බව මෙවැනි සත්‍ය කරුණු අනුව පැහැදිලි වේ. මා ආරම්භයේ සඳහන් කළ පරිදිම උපාධියේ ගුණාත්මක බව තීරණය කරන්නේ එය රජය මගින් ප්‍රදානය කරන්නේද නැද්ද යන කරුණ මත යයි සිතීම සැබෑ මුළාවකි. එසේ නැත්නම් මහජනතාව මුළාවේ දැමීම සඳහා ඇතැමුන් භාවිත කරන රැවටිලිකාර ක්‍රමවේදයකි. ගුණාත්මක උපාධියක්‌ අවශ්‍ය බව වෛද්‍ය සභාවේ සැබෑ අදහස නම් ඔවුන් විසින් ද කළයුතු වන්නේ ගුණාත්මක උපාධියක්‌ නිර්මාණය කිරීම පිණිස අවශ්‍ය කරන නීති රීති සහ කොන්දේසි හඳුන්වා දීමයි. ගුණාත්මක වෛද්‍ය උපාධියක්‌ බොහෝ දෙනකුට ලබාගත හැකි ආකාරයේ විකල්ප අංශ පිළිබඳ සොයා බැලීමයි. උපාධියේ ගුණාත්මක බව මෙන්ම වෛද්‍යවරයාගේ කාර්යයේ ගුණාත්මක බව සේවාලැදි බව වර්ධනය කිරීමට ද ක්‍රමවේද හඳුන්වාදීම ඔවුන්ගේ ද වගකීමයි.



Divaina 2011.11.30

No comments:

Post a Comment