Monday, November 14, 2011

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙරට ජාතික ප්‍රශ්නවලදී නොබියව ඉදිරිපත් වුණා

බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උළෙලේදී මාදොළුවාවේ සෝභිත හිමියෝ පවසති
ගත වූ දශක දෙක තුනක කාලය තුළදී මේ රටේ සෞඛ්‍ය සේවයේ හෙද, හෙදියන් වෙනුවෙන් ලබා ගන්න පුළුවන් සියලුම ජයග්‍රහණ ලබා ගැනීමට නායකත්වය දුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සෑම රජයක් සමඟම කටයුතු කළ සංඝපීතෘවරයෙකු ලෙස හැඳින්විය හැකියැයි, කෝට්ටේ නාගවිහාරාධිපති මාදොළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයේ දී කතානායක චමල් රාජපක්ෂ මහතා ආනන්ද හිමියන්ට විජිනිපත පිරිනැමූ අයුරු.මේ අවස්ථාවට සහභාගි වූ මැති ඇමැතිවරුන් හා මහා සංඝරත්නයද පසෙකින් සිටිති. ඡායාරූපය-කෝට්ටේ මධ්‍යම සමූහ

කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාම ගී‍්‍ර සංඝ සභාව මඟින්, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් පසුගියදා (11) කෝට්ටේ රජමහ විහාරයේ දී පැවැති උත්සවයේදී සෝභිත හිමියෝ එසේ පැවසූහ.
කෝට්ටේ මහා සංඝ සභාවේ මහානායක අතිගරු බෙල්ලන ශ්‍රී ඥානවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.
සෝභිත හිමියෝ මෙසේ ද පැවසූහ.
මේ රටේ ජාතික ප්‍රශ්නවලදී පවා ආනන්ද හිමියන් නොබියව ඉදිරිපත් වුණා. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන අවස්ථාවේ පිටකොටුවේ බෝධිය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී විරෝධය ප්‍රකාශ කරමින් එවකට පැවැති රජයට කරුණු පැහැදිලි කළ අවස්ථාව මට මතක් වෙනවා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති වශයෙන් දිගටම කටයුතුª කරමින් එම සේවාව රටේ ඉහළම සේවාව බවට පත්කරනු ලැබුවා.
ආනන්ද හිමියන්ට පවරන කාර්යයක් ඉතාමත් ඉහළින් සම්පූර්ණ කිරීමට දක්ෂතාවයක් තිබෙනවා. අද ලැබෙන පදවියෙන් පවා රටට ශාසනයට මහඟු සේවාවක් ඉදිරියේදී ලැබෙන බව අපට විශ්වාසයි.
ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - මවුබිමේ නිදහසට තර්ජනයක්ව පැවැති පාලන යුගයේදී වෙඩිවරුසා මැදින් ඉදිරියට ගිය ආනන්ද හිමියෝ වරෙක සිරගෙදරට ගියේ ඉතාමත් නිර්භීතව බව මව දන්නවා.
පවතින සෑම රජයන් සමඟම කටයුතු කිරීමේ හැකියාවක් ඇති බව හෙද සංගමයේ සභාපති ධුරයෙන් ඔප්පු කර තිබෙනවා. අද රජයේ ඇමැතිවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටිනවා. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇමැතිවරුන් මෙන්ම, ඇමැතිවරියන්ද අපිට දකින්ට ලැබෙනවා. ජනාධිපතිතුමාගේ ගෞරවය හා ආශිර්වාදයද මේ අවස්ථාවේ මා සිහිපත් කරනවා.
ගිහි-සංඝ භේදයකින් තොරව කටයුතු කළ නිසා ආනන්ද හිමියෝ හොඳ නමක් දිනාගෙන තිබීමද අපට ඉමහත් සතුටක් බව කිව යුතුයි.
මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ - අද මට ලැබුණ නව තනතුර මම නිකම් තියාගෙන ඉන්නේ නැහැ. මම මේ තනතුරෙන් උපරිම සේවයක් ශාසනයටත්, රටටත් ලබාදෙනවා. අනාගතයේ දී විශාල වැඩ කොටසක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.
මගේ කාර්යභාරය එයයි. මේ තනතුර මට ශක්තියක් කර ගන්නවා. කෝට්ටේ සංඝ සභාවටත් මුදල් ප්‍රශ්න තිබෙන බව මම දන්නවා. මට හැකි අයුරින් සංඝ සභාවට ආධාර කරනවා. එදා වගේම අදත් රටේ ජාතික ප්‍රශ්නවලදීත් මම ඉදිරිපත් වෙනවා.
කෝට්ටේ සංඝ සභාවේ මහානායක බෙල්ලන ශ්‍රී ඥානවිමල නායක හිමියෝ - ආනන්ද හිමියන් වැඩකරන්න පුළුවන් හිමිනමක් බවට රටට ජාතියට ඔප්පු කර තිබෙනවා. උන්වහන්සේගේ සේවය ගැන සංඝ සභාව මනාව තේරුම් ගෙන තිබෙනවා. මේ තනතුර ආනන්ද හිමියන්ට ශක්තියක් වෙනවා.
නව නායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය කෝට්ටේ මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානවිමල නායක හිමියන් අතින්, මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ට පිරිනැමුන අතර, විජිනිපත පිරිනැමීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් සිදුකරනු ලැබීය.
විද්‍යෝදය පිරිවෙනේ පරිවෙණාධිපති බලංගොඩ සෝභිත, පල්ලන්තර සුමනජෝති, අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිවරුන්ද කතා කළහ.
මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ද, වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නායකයන්ද, එක්සත් හෙද සංගමයේ සාමාජික, සාමාජිකාවන් විශාල පිරිසක්ද, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ දායක දායිකාවන් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

Dinamina 2011.11.14

No comments:

Post a Comment