Tuesday, November 15, 2011

බස්නාහිර වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල සේවය කරන වෛද්‍යවරු හෙට (16 දා) සිට වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
බස්නාහිර පළාතේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දුරකථන බිල්පත් නොගෙවීම නිසා මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත.
මේ සංගමය මඟින් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අවස්ථා කිහිපයකදීම මේ ගැටලුව සම්බන්ධයෙන් දැනුම් දීම සිදු කළත් මේ වන තුරු ඊට විසඳුමක් ලබාදී නොමැති යැයි ද එම සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසයි. සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පොදු චක්‍රලේඛ ලිපි අංක 02-41/2011(11) හා 2011.05.16 දිනැති චක්‍රලේඛ ක්‍රියාත්මක කර බස්නාහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දුරකථන බිල්පත් ගෙවීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ක්‍රියාත්මක වී නොමැති යැයි ද ඔවුහු චෝදනා කරති. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පවතින අකාර්යක්ෂමතාව නිසා වෛද්‍යවරුන්ට මෙවැනි ගැටලුවකට මුහුණ දීමට සිදු වී තිබෙන බව ද සංගමය පවසයි.

Dinamina 2011.11 15

No comments:

Post a Comment