Friday, June 22, 2012

ජාතික ඖෂධ ප්රතිපත්තිය හැංගුවේ කවුද?



 මහාචාර්ය සේනක බිබිලේ

මෙතෙක්‌ කල් ඇල්මැරුණු ස්‌වභාවයකින් පැවැති සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අස්‌ථානගත වීම සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් විසින් කරනු ලැබූ ප්‍රකාශයත් සමගම නැවත උණුසුම් වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේදී සකස්‌ කරනු ලැබූ ප්‍රතිපත්තීන් අතුරින් අතිශයින් වැදගත් වූත්, මහජනතාවට බලපාන්නා වූත් ජාතික ප්‍රතිපත්තියක්‌ වන ඖෂධ ප්‍රතිපත්තිය මෙසේ හිටි හැටියේ අස්‌ථානගත වූයේ කාගේ වරදින්ද? යන්න මෙම දිනවල බොහෝ දෙනෙකුගේ මුවඟ රැව් දෙන පැනයක්‌ වී ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමේ නියමුවා වන අභාවප්‍රාප්ත මහාචාර්ය සේනක බිබිලේ ගේ සංකල්පයන්ට අනුව යමින් සකස්‌ වූ බවට අනේක වාරයක්‌ ප්‍රකාශයට පත් වූ මෙම ඖෂධ ප්‍රතිපත්තියට සැබැවින්ම සිදුවූයේ කුමක්‌ද? මහජනතාවට ගුණාත්මක බවින් ඉහළ ආරක්‍ෂාකාරී බෙහෙත් වර්ග අඩු මිලට මිලදී ගත හැකි වන අයුරින් සකස්‌ කර ඇති එම ප්‍රතිපත්තිය ගෙන ඒම මේ අයුරින් දිගින් දිගටම ප්‍රමාද කරනුයේ කාගේ උවමනාවටද? යන්න පිළිබඳව මෙහිදී විමසා බැලිය යුතුව ඇත.

මෙහිදී රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලයේ වත්මන් සභාපතිවරයාද වන හරේන්ද්‍ර කුරුප්පු මහතා දක්‌වා ඇති අදහස්‌ අතිශයින් වැදගත්ය. ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව පසුගිය කාලයේ ජනමාධ්‍යයන් හරහා ප්‍රබල හඬක්‌ නැඟූ ඇතැම් ප්‍රබල සෞඛ්‍ය වෘත්තීය සමිති වත්මන් තත්ත්වය පිළිබඳව මුනිවත රකිනු ලබන අවස්‌ථාවක කුරුප්පු මහතා පෙන්වා දෙනුයේ එතෙක්‌ මෙතෙක්‌ සිටි කිසිදු සෞඛ්‍ය බලධාරියෙකුට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සැබෑ උවමනාවක්‌ නොතිබූ බවයි.

හුදෙක්‌ මහජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා පමණක්‌ ඖෂධ ප්‍රතිපත්තිය ආභරණයක්‌ කරගෙන සිටි මෙම බලධාරීහු එවැනි ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කළහොත් බෙහෙත් ටෙන්ඩර් හරහා දැනට තමනට ලැබෙන අති විශාල කොමිස්‌ මුදල නොලැබී යන බව හො¹කාරවම දනිති. අනෙක්‌ අතට ඖෂධ කර්මාන්තකරුවන්ද පසුගිය වසරේදී ප්‍රකාශ කර සිටියේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් එයට තම පූර්ණ සහාය ලබාදෙන බවයි. එම ප්‍රකාශය සිදුකරන ලද්දේ එය වත්මන් බලධාරීන් විසින් කිසිසේත් ක්‍රියාත්මක නොකරන බවට ඔවුන් සක්‌සුදක්‌ සේ දැන සිටි නිසාද?

වසර ගණනක්‌ මුළුල්ලේ සාකච්ඡා, වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වමින්ද විද්වතුන්, මහජනතාව හා සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා හා අදහස්‌ ලබාගෙන සකස්‌ කරනු ලැබූ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සිංහල, දමිළ හා ඉංගී්‍රසි යන භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන ප්‍රතිපත්තියකි. එවැනි ප්‍රතිපත්තියක්‌ අස්‌ථානගත වී ඇති බවට කරනු ලබන ප්‍රකාශය සුළු කොට තැකිය නොහැකිය. මෙහිදී මේ සම්බන්ධව මුලින්ම ප්‍රකාශ කළ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ නීතිමය තත්ත්වය විමසීම සඳහා එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවන ලදුව එහිදී එය අස්‌ථානගත වී ඇති බව නිවේදනය කර ඇත.

එහෙත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එවැනි අස්‌ථානගත වීමක්‌ සිදුනොවූ බව ජනමාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබිණි. අනෙක්‌ අතට එසේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සකස්‌ කළ ප්‍රතිපත්තියක්‌ යෑව්වද එහි පිටපතක්‌ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබිය යුතුය. එය පාර්ලිමේන්තුවේද සභාගත කර තිබීම නිසා එය අස්‌ථානගත වීම පිළිබඳව කරනු ලබන ප්‍රකාශයන් කිසිසේත් පිළිගත නොහැකි බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ සභාපති හරේන්ද්‍ර කුරුප්පු මහතා අවධාරණය කරයි.

ඔහුට අනුව මෙය හිතාමතාම එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැළැක්‌වීම උදෙසා නිර්මාණය කරන ලද හාස්‍යමය නාටකයකි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක නොකර හමස්‌ පෙට්‌ටියේ තබා ඇති එකම ප්‍රතිපත්තිය මෙය නොවීම නිසා එම මතයද බැහැර කළ නොහැක්‌කකි.

කරුණු එසේ නම් ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව ඉදිරියෙහි දිග හැරෙමින් පවතින නාටකයෙහි පදනම කුමක්‌ද? එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් එය ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලමින් රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්‌ විසින් ශේ්‍රෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම සලකා බැලූ අධිකරණය වහා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයා වෙත නියෝග කරන ලද්දේ දැනට සතියකට පෙරදීය.

එහෙත් එවැනි තත්ත්වයක්‌ පැවැතියදීත් එම ප්‍රතිපත්තිය අස්‌ථානගත වී ඇති බව පවසමින් එහි වගකීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් භාර ගත යුතු බවට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කර තිබේ.

මෙසේ පන්දුව එක්‌ එක්‌ අංශයන් කරා යොමු කරමින් බලධාරීන් විසින් ගෙන යන හාස්‍යමය රංගනය හමුවේ අන්ත අසරණ තත්ත්වයට පත් වනුයේ අසරණ රෝගී ජනතාව බව අමුතුවෙන් කිවයුතු නොවේ. දැනටමත් රජයේ රෝහල් සඳහා ගෙන්වා ඇති බෙහෙත් ප්‍රමාණය එම රෝහල්වලට ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ රෝහල් විසින් රෝගීන්ට බෙහෙත් නිකුත් කරනුයේද සීමාසහිතවය. මෙයට මාස ගණනාවකට පෙර බාහිර රෝගී අංශ වෛද්‍ය සායනයකට ගිය රෝගියෙකුට මාසයක කාලයක්‌ සඳහා එකවර බෙහෙත් වර්ග නිකුත් කළද දැනට බොහෝ සායනයන් හරහා එකවර රෝගියෙකුට බෙහෙත් නිකුත් කරනුයේ සති දෙකකට ප්‍රමාණවත් වන පරිදිය. මාසයක කාලයක්‌ සඳහා අවශ්‍ය කරන බෙහෙත් ලබා ගැනීම සඳහා එම රෝගීන් ඒ අනුව මසකට දෙවරක්‌ රෝහලට යා යුතුය.

එන්නත් ලබා ගැනීමේදී පවතිනුයේද මෙවැනිම තත්ත්වයකි. එවන් වාතාවරණයක්‌ පැවැතියද රෝගී ජනතාව වෙනුවෙන් සැකසූ ඖෂධ ප්‍රතිපත්තියක්‌ හිස්‌ කඩදාසියක්‌ සේ සළකා බැහැර කිරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම කෙතරම් ෙදජනකද? සැබැවින්ම සෞඛ්‍ය බලධාරීන්ම ප්‍රකාශ කළ අයුරින් එම ප්‍රතිපත්තිය අඩු මිල ගුණාත්මක බවින් ඉහළ ආරක්‍ෂාකාරී බෙහෙත් වර්ග ජනතාව අතට පත් කිරීමට මඟ පාදයි. අනෙක්‌ අතට මින් ඉදිරියට වෙළෙඳ නාමයන්ගෙන් තොරව ඖෂධීය නාමයන්ගෙන් බෙහෙත් වර්ග රෝගීන්ට නිර්දේශ කිරීම ප්‍රතිපත්තිය හරහා සිදුවීම හේතුවෙන් එය රෝගීන්ගේ මුදල් පසුම්බියටද හිතකරය. බෙහෙත් ටෙන්ඩර් හරහා අධික කොමිස්‌ මුදල් ලබා ගැනීමේ ක්‍රමයද අහෝසි වීමටද එය හේතුවනු ඇත.

අප කලින් වතාවකදී ලිපියකින් පෙන්වා දුන් පරිදි කිසිදු සෞඛ්‍ය බලධාරියකු තමන් බෙහෙත් ටෙන්ඩර් හරහා උපයනු ලබන කොමිස්‌ මුදල් ආදායම අහිමි කර ගැනීමට අකමැතිය. සත්‍ය තත්ත්වය එයයි. එමෙන්ම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අස්‌ථානගත කර ඇත්තේද මෙම කොමිස්‌ මාµsයාකරුවන් නොවන්නේ යෑයි කිව හැක්‌කේ කාටද?

මෙය ඇත්ත වශයෙන්ම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. එමෙන්ම මහාචාර්ය සේනක බිබිලේ මහතාට ද කරන ලද අපහාසයකි. මහාචාර්ය බිබිලේ මහතාගේ සංකල්පයන්ට අනුව නිර්මාණය වූ ඖෂධ ප්‍රතිපත්තියක්‌ අප අසල්වැසි ඉන්දියාව හා බංග්ලාදේශය තුළදී ක්‍රියාත්මක වෙද්දී අප තවමත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තබා එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට තිබූ ඉඩකඩද අහුරාලමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් දැන් සිදුකළ යුතුව ඇත්තේ අස්‌ථානගත වී ඇති බව කියන ඖෂධ ප්‍රතිපත්තිය කෙසේ හෝ හමස්‌ පෙට්‌ටියෙන් ඉවතට ගෙන එය ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කිරීමයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද මහින්ද චින්තනය තුළද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබේ. එසේ නම් එය සිදු නොකරන්නේ නම් එය මහින්ද චින්තනයට කරන නිගරුවක්‌ද වනු ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම පිළිබඳව කිසිදු උනන්දුවක්‌ නොදැක්‌වුවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් යම් යම් තනතුරු සඳහා ඉව ඇල්ලීම නම් ජයටම සිදුකරගෙන යන බව පෙනී යයි. එසේ ඉව අල්ලන එක්‌ තනතුරක්‌ වී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් ධුරයයි. එම ධුරයෙහි සිටින වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතාගේ ධුර කාලය ලබන අගෝස්‌තුවේදී නිමවීමට නියමිතය. ඔහු නැවත සේවා දිගුවක්‌ ඉල්ලා ඇති නමුදු සෞඛ්‍ය ඇමැතිවරයා එය ප්‍රතික්‌ෂේප කර ඇති බවට එක්‌තරා නිලධාරියකු ප්‍රචාරය කරනුයේද ඖෂධ ප්‍රතිපත්තියට කළ විනාශයම එම ධුරයටත් කරන්නටදැයි සෞඛ්‍ය වෘත්තිකයින් අතර සැකයක්‌ පැන නැඟී ඇත.

එහිදී සැබැවින්ම සිදුව ඇත්තේ වෛද්‍ය මෙන්ඩිස්‌ මහතා විසින් සේවා දිගුවක්‌ ඉල්ලා සිටීම නොව ඔහුට සේවා දිගුවක්‌ ලබාදෙන ලෙසට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙහි ප්‍රබල වෘත්තීය සමිති කිහිපයක්‌ විසින් සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබීමයි. මෙලෙස ජනතාවගෙන් සත්‍ය වසන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හේතුවෙන් එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඈත් වන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. මෙම තත්ත්වය මත ජාතික ඖෂධ ප්‍රතිපත්තියට සිදුවූ දෙය පිළිබඳව සත්‍ය තත්ත්වය රටට හෙළිදරව් කර ඉදිරියේදී එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්‌ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් යුහුසුළුව කටයුතු කළ යුතුව ඇත. නොඑසේ නම් සෞඛ්‍ය බලධාරීන් විසින් බොහෝ අවස්‌ථාවලදී "කටින් බතල කොළ සිටුවනවා" යනුවෙන් මහජනතාව අතර ගොඩනැඟී පවතින මතය තවදුරටත් තහවුරු වීම නොවැළැක්‌විය හැකි වනු ඇත.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2012/06/22/feature01.html

No comments:

Post a Comment