Friday, June 8, 2012

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉක්මන් කරනු -සෞඛ්‍ය ඇමැතිට-ලේකම්ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

ඖෂධ ආනයනය කිරීම, නිකුත් කිරීම, බෙදා හැරීම, අලෙවිය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කොට ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කෙළේය.
 
ඖෂධ, ඖෂධීය උපකරණ, පෝෂණ ආහාර, සුවඳ විලවුන් ආනයනය කිරීම, නිකුත් කිරීම සහ අලෙවිය සම්බන්ධයෙන් ද වන රෙගුලාසි මෙහි අන්තර්ගත විය යුතු බව සඳහන් විය. සියලු රට වැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ජනතා සුභ සිද්ධිය සඳහා එවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ එය ක්‍රියාත්මක කිරීමට කල් නොයවාම අවශ්‍ය නිසි පියවර ගැනීම රජයේ වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණයකෙළේය.
 
දැනටමත් දිගු කලක් ගිහින්

මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ඒ සම්බන්ධ රෙගුලාසි ඇතුළත් කර පනත් කෙටුම්පතක් සකස් කරන බව පැවසුණු නමුත් මේ වන විට ඒ සඳහා දීර්ඝ කාලයක් ගත කර ඇති බව අවධානයට ලක් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග පැනවීය.

ඖෂධ සහ උපකරණ , පෝෂ්‍ය ආහාර සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියක් සඳහා වන රෙගුලාසි ඇතුළත් වන පනත් කෙ ටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කෙළේය.
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වන ජනතා ව්‍යාපාරය විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.
සෞඛ්‍ය ඇමැතිවරයා , එම අමාත්‍යාංශ ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ඖෂධ සුවඳ විලවුන් , සහ ඒ ආශ්‍රිත උපකරණ පිළිබඳ තාක්ෂණ උපදේශන කමිටුව සහ නීතිපති මෙහි වග උත්තරකරුවෝ වෙති.

කේ.ශ්‍රී පවන්, එස්.අයි. ඉමාම් හා ප්‍රියසාද් ඩෙප් මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ පෙත්සම කැඳවන ලදි.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සඳහා වන යොජනා ඇතුළත් සේනක බිබිලේ නිර්දේශ 1977ට පෙර ක්‍රියාත්මක වු බව පෙත්සමෙහි සඳහන් විය. එහෙත් 1977ට පසුව ජාතික ප්‍රතිපත්තීන් පිළිබඳ කතිකාවන් වරින් වර මතු වූ නමුත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීය.
 
වෙළෙඳ නාම 9000ක්


බොහෝ ඖෂධ ඖෂධීය නාමයෙන් නොව වෙළෙඳ නාමයෙන් ආනයනය කෙරෙන අතර වෙළෙඳ නාම 9000 කින් එලෙස ඖෂධ වර්ග ආනයනය කරන බව පෙත්සමෙහි දැක්වේ. පෝෂණ ආහාර ද්‍රව්‍ය ද වෙළඳ නාමයෙන් ආනයනය කරනු ලබයි.

එහෙත් ඖෂධිය නාමයෙන් මෙම ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම මගින් වසරකට මිලියන ගණනක් රජයට ඉතිරි කර ගත හැකි බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.
 
එසේම පහසු මිලකට ඖෂධ ලබා ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙන බවද පෙත්සමෙහි සඳහන් විය.
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කරන බවට බලධාරින් මීට පෙර පවසා තිබිණි. එහෙත් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවත් මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීම 2009 වසරේ සිට වරින් වර කල් දමා ඇති බව අධිකරණය සඳහන් කෙළේය.එම ජාතික ප්‍රතිපත්තිය සඳහා වන රෙගුලාසි ඇතුළත් පනත් කෙටුම්පත තවමත් කෙටුම්පත් අංශයෙහි ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් විය.

එම පනත් කෙටුම් පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා ඇත.

කරුණු සලකා බැලූ අධිකරණය ඉහත නියොගය දුන් අතර පෙත්සම මෙම ජූලි මස 26 වැනිදා නැවත කැඳවීමට තීරණය කෙළේය.

නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පෙත්සම වෙනුවෙන් පෙනි සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් එස්. රාජරත්නම් මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ය.

http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=n1206082

No comments:

Post a Comment