Friday, June 8, 2012

රජයේ වෛද්යැ නිලධාරින්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක!

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට නව පත්වීම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව පවසයි.
මේ මස 12 වැනිදා එම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන අතර උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරු මේ සඳහා සහභාගි වෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව නිසා සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දැනට මාස හතරක් තිස්සේ පත්වීම් නොලබා නිවෙස්වලට වි සිටින බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යා‍ලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරයා මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල සේවය සඳහා යාමට කැමැත්ත පළ කර සිටියදීත් පත්වීම් ලබාදීම ප්‍රමාද නිසා එම ප්‍රදේශවල වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද ඔහු පැවැසුවේය.

එම ප්‍රදේශවල දැනට වසරකට වඩා දුෂ්කර සේවයේ යෙදී සිට ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකි නිසා වෛද්‍යවරු 200 ක් පමණ මේ අපහසුතාවට ලක්ව ඇති බවත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් එම ප්‍රදේශයේ සේවයේ යෙදීමට කැමැත්ත තිබියදීත් පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීම මීට හේතු වී ඇති බවත් වෛද්‍ය ආරියරත්න මහතා සඳහන් කළේය.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 800 කට අධික පිරිසක් නව පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පත්වීම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තම සංගමයට කළ හැකි උපරිම සහාය අමාත්‍යාංශයට ලබාදී ඇති බව ද හෙතෙම කීය.

උතුරු නැඟෙනහිර ඇතුළු දුෂ්කර ප්‍රදේශවල රෝහ‍ල් ගණනාවක් මේ වන විට වසා ඇති බවත් සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට නව පත්වීම් ලබාදීමෙන් වසා ඇති රෝහල් විවෘත කර සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
http://www.dinamina.lk/2012/06/08/_art.asp?fn=n120608br_2

No comments:

Post a Comment