Wednesday, June 27, 2012

නව චක්‍රලේඛය අනුව රාඡ්‍ය ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සන්නිවේදන දීමනාව නතර කෙරේ



ඒමන්ති මාරඹේ

පසුගිය වසරේ (2011) මැයි මාසයේ සිට මෙම වසරේ ජුනි මාසය දක්‌වා වසරක කාලයක්‌ රජයේ ශ්‍රේණිගත වෛද්‍යවරු 14,000 ක්‌ වෙත මාසිකව රුපියල් 6000 ක උපරිමයට යටත්ව ගෙවනු ලබූ සන්නිවේදන දීමනාව එම වෛද්‍යවරුන්ට හිමි නොවන දීමනාවක්‌ වශයෙන් සලකා වහාම ගෙවීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

එම ශ්‍රේණිගත වෛද්‍යවරුන් විධායක ශ්‍රෝණියට අයත් නොවීම මත මෙම තීරණය ගෙන ඇති අතර කෙසේ හෝ පසුගිය වසරක කාලය තුළ එම වෛද්‍යවරුන් හට සන්නිවේදන දීමනාව වශයෙන් ගෙවීම සඳහා රුපියල් ලක්‌ෂ ගණනක්‌ මාසිකව වැය කිරීමට භාණ්‌ඩාගාරය විසින් පියවර ගෙන තිබිණි.

මහා භාණ්‌ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් පී. ඒ. අබේසේකර මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා වෙත 2012-06-05 දාතමින් යවා ඇති ලිපියක සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ එනම් 2011-05-16 දා දිනැතිව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් කාණ්‌ඩගත කිරීමේදී අංක 446 දරණ රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ විධිවිධාන නියමාකාරයෙන් අනුගමනය කර නොමැති වීම මත මෙසේ ශ්‍රෝණිගත වෛද්‍යවරුන් 14,000 කටද විධායක ශ්‍රෝණියේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති සන්නිවේදන දීමනාව ගෙවා ඇති බවයි.

පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා විසිරි සිටින වෛද්‍යවරුන් 16,200 කට පමණ මෙම සන්නිවේදන දීමනාව ජංගම දුරකථන 2 කටත් ස්‌ථාවර දුරකථනයටත් වශයෙන් ගෙවීම් කර තිබුණු අතර එම වෛද්‍යවරුන්ගෙන් අදාළ දීමනාව හිමි වීමේ සුදුසුකම් පවතිනුයේ විධායක ශ්‍රෝණියට අයත් විශේෂඥ වෛද්‍යවරු 1000 කට පරිපාලන ශ්‍රෝණියේ වෛද්‍ය නිලධාරින් 200 කට හා පළමු ශ්‍රෝණියේ වෛද්‍ය නිලධාරීන් 1000 කට වශයෙන් වෛද්‍ය නිලධාරීන් 2200 කට බව බලධාරීහු දැන් ප්‍රකාශ කර සිටිති.

ඒ අනුව මුලදී එම දීමනාව සම්බන්ධව නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කර නව චක්‍රලේඛයක්‌ නිකුත් කරන ලෙස මහා භාණ්‌ඩාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශයටද උපදෙස්‌ දී තිබේ.

මෙයට හේතු වී ඇත්තේ 2006/7 වැටුප් සංශෝධනයට පෙර සියලු රජයේ වෛද්‍යවරුන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ විධායක ශ්‍රෝණියට අයත් වීමයි. එහෙත් 2006/07 චක්‍රලේඛයන්ට පසුව සාමාන්‍ය ශ්‍රෝණිගත වෛද්‍ය නිලධාරීහු විධායක ශ්‍රෝණියෙන් ඉවත් කෙරුණු අතර එම ශ්‍රෝණියට අයත් වනුයේ ඉහත කී විශේෂඥ වෛද්‍යවරු හා පරිපාලන ශ්‍රෝණියේ වෛද්‍ය නිලධාරීන් පමණකි.



No comments:

Post a Comment