Wednesday, June 27, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තික නව බඳවාගැනීම් ප්‍රමාදයි - සංගමයෙන් ලබන මස උද්ඝෝෂණ


ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයක්‌ පැවැතියදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම මත රැකියා විරහිත පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් 270 ක්‌ පමණ දෙනා සේවයට බඳවා නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව රැකියා අපේක්‍ෂිත පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරී සංගමය පවසයි.

රැකියා විරහිත පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අදාළව යෝජනාවලියක්‌ සකසා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී මේ වන විට මාස 7 කට අධික කාලයක්‌ ගතවී ඇතත් එය ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය බලධාරීන් විසින් හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බව එම සංගමය පවසයි. මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවාවේ 1700 ක පමණ හිඟයක්‌ පවතින බව සංගමය අවධාරණය කර සිටී.

දිගින් දිගටම තම සාමාජිකයන් රාජ්‍ය සේවයට බඳවාගැනීම කල් දමමින් සිටීම නිසා ඇතැම් රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් පෞද්ගලික සේවයේ රාජකාරි කිරීමට පෙළඹී ඇති අතර එය රජයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ඔවුනට වැය කළ වියදම පෞද්ගලික අංශයට ඇදී යැමක්‌ බව රැකියා අපේක්‍ෂිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් එස්‌. කේ. කසුන් උදයංග මහතා පැවසීය.

මෙම තත්ත්වය මුල් කරගෙන එම පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් හට වහාම රජයේ රැකියා අවස්‌ථාවන් ලබාදෙන ලෙස ඉල්ලමින් ලබන මස සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ දියත් කිරීමට තම සංගමය සැලසුම් කරගෙන යන බව ද ඔහු සඳහන කළේය.

පුංචි බොරැල්ල රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ශාලාවේ ඊයේ (26 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අමතා මහේෂ් අර්ථනායක, භානුක දහනායක, වාසනා මධුශංඛ හා වත්සලා වලතර යන අය ද කතා කළහ.

http://www.divaina.com/2012/06/27/news10.html

No comments:

Post a Comment