Wednesday, April 4, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ යළි රතු එළි දල්වති

ඒමන්ති මාරඹේ

සිය සේවා ඉල්ලීම් 10 ක්‌ සඳහා හෙට (5 දා) වන විට පිළිගත හැකි විසඳුම් ලබා නොදෙන්නේ නම් අධිකරණ නියෝගයක්‌ මත අත්හිටුවා තිබෙන රජයේ රෝහල් පරිපූරික වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන සතිය තුළදී නැවත අරඹන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය ඉකුත් සෙනසුරාදා (31 දා) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම්දී තිබේ.

2001 වසරෙන් පසු වැඩිකර නොමැති පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනා වැඩිකර දමා විශේෂ හා පළමු ශ්‍රේණිවල එම වෘත්තිකයන්ගේ ප්‍රමාද වී ඇති උසස්‌වීම් ලබාදීම හා රැකියා විරහිත පරිපූරක වෛද්‍ය වෘත්තික උපාධිධාරීහු රජයේ සේවයට බඳවා ගැනීම ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කරා යොමු වන බව පරිපූරක වෛද්‍ය වෘත්තික බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

ඉදිරි දින කිහිපය තුළ රැස්‌වන බලමණ්‌ඩලයේ විධායක කමිටුව විසින් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ස්‌වභාවය හා එය ක්‍රියාත්මක කරන දිනයන් තීරණය කරන බව ඔහු කීවේය. කොළඹ දිසා අධිකරණය විසින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයන් නතර කරන ලෙසට නිකුත් කර තිබූ වාරණ නියෝගය මාර්තු 31 වැනිදා තෙක්‌ බලපැවැත්විණි.

Divaina 2012.04.04

No comments:

Post a Comment