Monday, April 2, 2012

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරනු - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු

තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ ආ‍යතනයක් පිහිටවන බව හගවා ආයෝජන මණ්ඩල (BOI) ලබා ගෙන පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බවට පත්කළ සුප්‍රසිද්ධ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලය රජයට පවරාගන්නා ලෙස ආණ්ඩුවට බල කෙරේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය ඊයේ (01) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණ.

මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 373දෙනෙකු මේ වන විට අධ්‍යාපනය ලබයි. මේ එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් ලක්ෂ 80ක් අයකරගෙන ඇත. මෙහිදී යම් වංචනික ක්‍රියාවක් සිදුවී ඇතිබවට සහ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශකරන ලෙස ඉල්ලමින් මෙම වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන් කිහිපදෙනෙකු අධිකරණ ක්‍රියාමාර්ගවලටද එලඹ සිටී. මෙවැනි තත්වයක් යටතේ මෙම ජාවාරම් කාරී ව්‍යාපාරය අහෝසිකරමින් රජයට පවරාගන්නා ලෙසින් වැඩිදුරටත් බලපෑම්කරමින් තිබේ. මෙයට වෛද්‍ය ඉදුනිල් විජේනායක, වෛද්‍ය ජයන්ත බණ්ඩාර සහ වෛද්‍ය අසංග වික්‍රමසිංහ යන මහත්වරු සහභාගී වූහ.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හෙලිකළ සම්පූර්ණ කරුණු මෙසේය.

''විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන් ඇතුළු ජනතාවගේ විරෝධය නොසලකා හරිමින් ආණ්ඩුවේ ඍජු සහයෝගයෙන් ආරම්භ කරන ලද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (SAITM) තත්වය මේ වනවිට ඉතාම තීරණාත්මක තත්වයකට පැමිණ ඇත. වෛද්‍ය වෘත්තීය සමිතිවල බලපෑම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කරන ලද කමිටු වාර්තාවෙන්ද මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් නිදහස් අධ්‍යාපනයටත් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයටත් සිදුවන තර්ජනය වැලක්වීමට පිළියම් යොදා නොමැත.

මෙම මාළඹේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ සිටම අදාළ හිමිකරුවන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ආණ්ඩුවේද සහාය ඇතිව එයට ඇතුළත්ව සිටින සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ රටේ ජනතාව රවටමින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටිති.

මෙම South Ascian Institute of Information Technology and Management ආයතනය ආයෝජන මණ්ඩලයේ (BOI) ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළද එහි වෛද්‍ය උපාධිධාරීන් බිහිකරන බව හෙලි නොකිරීමට ඔවුන් වගබලාගෙන ඇත. (ඇමණුම 01) එසේ සිදුකර ඇත්තේ වෛද්‍ය උපාධි පිරිනැමීමට අවශ්‍ය තත්වයන් සපුරා නොගෙන සහ ඊට අදාළ ආයතනවල අනුමැතිය නොමැතිව මෙවැනි ආයතනවලට BOI අනුමැතිය ලබා නොදෙන බැවිනි.

මෙම ආයතනය මගින් රුසියාවේ නිෂ්නි නොවිග්රෝඩි (NNSMA) නම් විශ්වවිද්‍යාලයට අනුබද්ධව මෙහි ලබාදෙන උපාධිය ශ‍්‍රී ලංකාව, එංගලන්තය ඇතුළු අනෙක් රටවල වෛද්‍ය සභාවලින් පිළිගන්නා බවට මෙම ආයතනය මගින් අසත්‍ය ප‍්‍රචාර ගෙනගොස් සිසුන් බදවාගන්නා ලදී.

නමුත් මෙම ආයතනය මගින් ලබාදෙන උපාධිය පිළිනොගන්නා බවට රුසියාවේ වෛද්‍ය සභාව පවා ප‍්‍රකාශකර ඇති අතර මෙතෙක් ලංකාවේ වෛද්‍ය සභාවද එය පිළිගෙන නොමැත.

මේ වනවිට ශිෂ්‍ය කණ්ඩායම් 6 ක් බදවා ගත්තද වෛද්‍ය අධ්‍යාපනයේ අත්‍යාඅවශ්‍ය අංගයක් වන සායනික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක් ඇතිකර නොමැත. විටෙක ලංකාවේ පුද්ගලික රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන බවත් තවත් විටෙක හෝමාගම, අවිස්සාවේල්ල, තලංගම ආදී රජයේ රෝහල්වල පුහුණුව ලබාදෙන බවටත් අසත්‍ය දැන්වීම් පළකරමින් තවතවත් සිසුන් ගෙන් මුදල් ගරාගැනීම සිදුවිය

(ඇමණුම 02)
බදවාගැනීමේදී නියමිත සුදුසුකම් පරීක්‍ෂා නොකර, නිවැරදි අධ්‍යාපනයක් නොදී, සායනික පුහුණුවක් නොදී මුදල් ලබාගෙන විකුණන වෛද්‍ය උපාධි ලෝකයේ බොහෝ රටවල පිළිනොගනී. මුදල් බලය හා දේශපාලන බලය යොදමින් ඵ්වා යාමනය කරන SLMC,UGC වැනි ආයතනවලට බලපෑම් කර මෙම උපාධිය සදහා පිළිගැනීම ලබාගැනීම මෙහි පාලකයන්ගේ උපක‍්‍රමය වී ඇත.
උදා:- වෛද්‍ය සභාවේ ලේකම් වෛද්‍ය නෝනිස් මහතාට පහරදීම.

- මෙම උපාධිය පිළිනොගන්නේ නම් වෛද්‍ය සභාව විසුරුවා දමන බවට S.B.දිසානයක ඇමතිවරයා විසින් තර්ජනය කිරීම. (මෙවැනි තත්වයන් ලෝකයේ කිසිම රටක ඇති වී නොමැත.)

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, සිංගප්පූරුව වැනි රටවල පවා වෛද්‍ය සභා මගින් එම රටවල වෛද්‍ය උපාධිය දෙන ආයතන පිළිබද දැඩි නීති පනවා ඇත්තේ එසේ නොවුවහොත් ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවන තර්ජනය සම්බන්ධයෙන් සලකා බැලීමෙනි.

උදා:- එංගලන්ත වෛද්‍ය සභාව මගින් එහි පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිසිවකින් ලබාදෙන උපාධිධාරීන්ට ලියාපදිංචිය ලබානොදේ.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් දිගින්දිගටම පුවත්පත් නිවේදන නිකුත් කරමින් (ඇමණුම 03) මෙම ආයතනයෙන් ලබාදෙන වෛද්‍ය උපාධිය තමන් පිළිනොගන්නා බව ප‍්‍රකාශ කළද හිතුවක්කාරී දේශපාලකයින්ගේ ආශිර්වාදය නිසා මොවුන් දිගින්දිගටම සිසුන් බදවාගැනීමේ ක‍්‍රියාවලිය කරගෙන ගිය අතර මේ වනවිට එම සිසුන්ගේ දෙමාපියන් පෞද්ගලිකව තම දරුවන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව මෙම පෞද්ගලික වෛද්‍යාලයට විරුද්ධව නීති ක‍්‍රියාමාර්ග ගන්නා තත්වයට පත්ව ඇත. නමුත් මේ සම්බන්ධ වගකීම ගතයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජය තවමත් ඔවුන්ට අනුග‍්‍රහය දක්වමින් සිටී.

මුදලට දෙන බාල උපාධි මගින් ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය හෑල්ලූවට ලක්වෙයිද?

ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නේ අ.පො.උ.පෙළ ඉහළම ලකුණු ලබාගන්නා අයගෙනි. එමෙන්ම අවුරුදු 2ක් පූර්ව සායනික පුහුණුවක් සහ දිවයිනේ ප‍්‍රධානම රෝහල්වල අවුරුදු 3ක සායනික පුහුණුවක් ලබාදෙයි. සියලූම විභාග ඉතාමත් ඉහළ පරිසාධන මට්ටමකින් යුක්ත වන අතර සෑම වසරකම සිසුන් කිහිප දෙනෙකු අදාළ මට්ටමට පැමිණීමට නොහැකිවීම නිසා උපාධිය සම්පූර්ණ නොකර ඉවත්ව යයි. රජයේ වෛද්‍ය පීඨවල ඇති මෙම ඉහළ පරිසාධන මට්ටම නිසාම මෙතෙක් කල් ලංකාවේ වෛද්‍ය උපාධිය ලෝකය පුරා පිළිගැනීමට ලක්විය.

දැනටමත් බි‍්‍රතාන්‍ය වෛද්‍ය සභාව ඍජුවම පිළිනොගන්නා සලකා බැලීමට පමණක් යෝජිත විශ්වවිද්‍යාල ලේඛනය යටතට මෙම මාළඹේ වෛද්‍ය විද්‍යාලය ඇතුළත් කර තිබීම නිසා ශ‍්‍රී ලංකාව යනු තත්වයෙන් බාල වෛද්‍ය උපාධි දෙන රටක් ලෙස සලකුණුවී ඇති අතර එය මෙරට සාමාන්‍ය වෛද්‍යවරුන්ට සහ පශ්චාත් උපාධි හදාරන වෛද්‍යවරුන්ටද විශාල අභියෝගයක් වනු ඇත.

මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු රජය දැක්වූ මත මේ වනවිට පුස්සක් බවට පත්ව ඇත.

මේවා ඇතිකරන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවීමට ලකුණු දෙක තුනක් අඩුවන අයට බව පැවසුවද බොහොමයක් සිසුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට නොව වෙනත් පාඨමාලාවලටවත් ඇතුළත් විය නොහැකි සිසුන්ය. 20% ක් සිසුන්ට නොමිළයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දෙන බවට S.B.දිසානයක පුරසාරම් දෙඩුවද මේ දක්වා කිසිදු ශිෂ්‍යයෙක් එලෙස බදවාගෙන නොමැත. ඒ වෙනුවට සිදු වන්නේ රුපියල් ලක්‍ෂ 70 ක මුදලකට (මෙම මුදල ගෙවීමට මුලූ පඩියම ඉතිරි කළ ද වෛද්‍යවරයෙක් වසර 13 ක් සේවය කළ යුතුය) තත්වයෙන් බාල වෛද්‍ය උපාධියත් විකිණීමයි.

එසේ නම් අධ්‍යාපනය සදහා වන වගකීමෙන් රජය නිදහස් වී එය මුදලාලිලාට පවරා ඉතා සීමිත පිරිසකට උසස් අධ්‍යාපනය ලැබීමේ වරප‍්‍රසාදය ලබාදීමේ වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළත්, එම ජනතා විරෝධී වැඩපිළිවෙළින් ප‍්‍රයෝජන ගනිමින් දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් මුදල් වංචා කරන, උපාධි මුදලාලිලාගේ කලු කඩ ව්‍යාපාරයත් යන දෙකම එක මිටට ගෙන ජරාජය කළයුතු කාලය එළඹ ඇත.
1981 උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙවැනිම තත්වයක් ඇති වූ අතර වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර සහ ප‍්‍රගතිශීලී ජනතාවගේ මැදිහත්වීම මත එය රජයට පවරාගෙන එම තත්වය විසදන ලදී. එමගින් මේ වනවිට සුදුසුකම් ලත් වෛද්‍යවරු දහස් ගණන් රටට දායාදකොට ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ ව්‍යාපාරය ලෙස වෘත්තීය සමිති භේදයෙන් තොරව සියලූ වෛද්‍යවරුන්ටත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවටත් සියලූ ප‍්‍රගතිශීලී ජනතාවටත් මෙම අවස්ථාවේ එකට එකතු වන ලෙස ඉල්ලා සිටිමු.

නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසිකර එය ලක්‍ෂ ගණන් මුදල් වියදම් කළහැකි වරප‍්‍රසාද ලත් පංතියකට සීමා කරන ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය හෑල්ලූවට ලක්කරන ජනතාවගේ සෞඛ්‍ය මාරාන්තික අනතුරකට හෙලන වෛද්‍ය උපාධි කඩවලට එරෙහිව පෙළ ගැසෙමු.
ලක්‍ෂ ගණන් වැය කිරීමට නොහැකි වුවත් දක්‍ෂකම ඇති දරුවන්ට වෛද්‍යවරුන් බවට පත්විය හැකි ජනතාවගේ ජීවිතවලට හානි නොකරන සුදුසුකම් සහිත වෛද්‍යවරු බිහි කරන රජයේ වෛද්‍ය පීඨයක් බවට මෙය පත්කිරීම සදහා සටන් කරමු.

නිදහස් අධ්‍යාපනය වනසා ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙලන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය වහා ජනසතු කරනු.''



lankatruth.com

No comments:

Post a Comment