Monday, April 30, 2012

අක්‍ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සති 2 ක්‌ ඇනහිටී

ඒමන්ති මාරඹේ

කොළඹ නයනාරෝග්‍යශාලාවේ ශල්‍යාගාර සංකීර්ණයේ වහලය කැඩී යැම හේතුවෙන් සති දෙකක පමණ කාලයක සිට රෝහලේ සිදු කෙරෙන සියලු සාමාන්‍ය අක්‍ෂි ශල්‍යකර්ම නතර කර ඇතැයි නයනාරෝග්‍යශාලා ආරංචිමාර්ග පැවසීය.

නයනාරෝග්‍යශාලාවේ පවතින ශල්‍යාගාර හතරෙන් තුනකම ශල්‍යකර්ම කටයුතු වහලය කැඩීයැම මත නතර කර ඇති අතර ඉතිරි ශාල්‍යාගාරය තුළ හදිසි අක්‍ෂි ශල්‍යකර්ම පමණක්‌ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කීවේය. මෙම තත්ත්වය මත ඇසෙහි සුද (කැටරැක්‌ට්‌) ඇතුළු සාමාන්‍ය අක්‍ෂි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන්ගේ එම ශල්‍යකර්ම තවත් කල් ගොස්‌ ඇති අතර පසුගිය සති දෙක තුළදී එම ශල්‍යකර්ම ලේඛන ද අවලංගු කිරීමට සිදුව තිබේ.

මේ පිළිබඳව විමසූ විටදී කොළඹ නයනා රෝග්‍යශාලාවේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ මේ වන විට කැඩී ගොස්‌ තිබූ රෝහලේ ශල්‍යාගාර වහලය සවිකර අවසන්ව ඇති බවයි. වහලය කැඩී ගොස්‌ තිබීම නිසා ශල්‍යකර්ම සිදු කළ නොහැකි වූ ශල්‍යාගාරවල විෂබීජ නැසීමේ ජීවානුහරණ ක්‍රියාවලිය මෙම දිනවල සිදු කරගෙන යන බවත් ලබන සතියේදී එම ශල්‍යාගාර නැවත ශල්‍යකර්ම සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

Divaina 2012.04.27

No comments:

Post a Comment