Thursday, April 5, 2012

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට රජය කැපවීමෙන් ක්‍රියා කරනවා -ජනපති අවධාරණය කරයි

ධනුෂ්ක ගොඩකුඹුර

සෑම ජන කොටසකටම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට වත්මන් රජය සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලින් ලබා ගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යාමට නම් වර්තමානයේ අප හමුවේ ඇති ගැටලු හොඳින් හඳුනා ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නිදහස් නිවහල් මෙන්ම නීරෝගී මිනිසුන් රටක ඉදිරි ගමනට අවශ්‍ය බවත් එදා මැලේරියාව වැනි වසංගත රෝග රටින් තුරන් කළ අයුරින් බෝ නොවන රෝගවලට එරෙහිවත් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ මිහිමෙත් සුවසර ලෝක සෞඛ්‍ය දින සැමරුම් උත්සවයට අරලියගහ මන්දිරයේ දී ඊයේ (04) එක්වෙමිනි.

යහපෝෂණයෙන් ක්‍රියාශීලී බවින් පිරි සෞඛ්‍ය ජීවිතයක් ගොඩනගමු තේමාව ඔස්සේ මෙවර ලෝක සෞඛ්‍ය දිනය සමරන ලද අතර බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා පෝෂ්‍යදායී ආහාර සහ ව්‍යායාමවල වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කෙරිණි.

මෙවැනි වැඩපිළිවෙළ කෙරෙහි ජනමාධ්‍ය සතු වගකීමක් ඇති බවත් එහෙත් අවාසනාවකට මෙන් එසේ නොකර ජනමාධ්‍ය, ව්‍යායාමයට ඇවිද යන අයගේ ඡායාරූප පළ කරමින් ඔවුන්ට සිනාසෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එෆ්. ආර්. මෙහෙතා, මහාචාර්ය දියනාත් සමරසිංහ මහත්වරු සහ ප්‍රවීණ ක්‍රීඩිකා ශි‍්‍රයාණි කුලවංශ මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය.


Dinamina 2012.04.05

No comments:

Post a Comment