Friday, April 6, 2012

ඇමැතිතුමා ඔහොම කාලා පුළුවන්ද මෛත්‍රීගෙන් නිලධාරියෙක් අසයි

2012 අප්‍රේල් 06 වෙනි සිකුරාදා, 00:16

සම්පත් දේශප්‍රිය

ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය බදාදා විශේෂ උත්සවයක් පැවැත්විණි. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට සහභාගි විය. ඇමැතිවරයා තමන්ගේ කතාවේදී ආහාර සම්බන්ධයෙන්ද අදහස් පළකළේය. “දවසක් මම ගෙදර උදේ කමින් ඉන්නකොට මගේ ආරක්ෂක නිලධාරියෙක් ඇවිත් මට දැනුම් දුන්නා. මාව හම්බවෙන්න එක්තරා නිලධාරියෙක් ඇවිත් ඉන්නවා කියලා මම ඒ වෙලාවේ නිලධාරියාව කන තැනට එවන්න කියලා උපදෙස් දුන්නා. එම නිලධාරියා ඇවිත් මම කමින් සිටි මේසය දිහා බලලා මගෙන් අහනවා ඔබතුමා මේවාද කන්නේ කියලා. මම එයාගෙන් ඇහුවා ඇයි කියලා. නැහැ ඇමැතිවරයෙක් වුණාම මේවා කාලා හරියනවාද හොඳට කන්න එපැයැ එම නිලධාරියා මට උත්තර දෙමින් කිව්වා. එයා අහනවා මේවා කාලා ජීවත්වෙන්න පුළුවන්ද කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිව්වා සෙරෙප්පු දෙකක් කකුලට නොදා ‍පොළොන්නරුවේ ඇවිද්ද මට ගමේදී වගේ ‍පොල් සම්බෝලයි බතුයි කන එක තරම් සතුටක් වෙන ඒවා කාලා ලැබෙන්නේ නැහැ කියලා. ඇමැතිවරයා තමන්ගේ කතාව අවසන් කරමින් කියා සිටියේය.එම කතාව අවසන් කළ ඇමැතිවරයා ජනාධිපතිවරයා අසලින් අසුන් ගත්තේය. ඒ මොහොතේ ජනාධිපතිවරයා මෛත්‍රීගේ කනට කර යමක් විමසනු දකින්නට ලැබිණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ කතාව ඇරඹිණ. “අපේ සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් මම ඇහුවා අර නිලධාරියා කවුද කියලා. එතුමා ඒ කවුද කියලා කිව්වේ නැහැ. නමුත් මම හිතන විදිහට ‍පොලිස් නිලධාරියෙක්. මොකද ඒ ගොල්ලෝ කන්නේ වෙන ජාතියක්නේ. ඇමැතිතුමා කිව්වාට සම්බෝලයි බතුයි විතරක් කාලා හරියන්නේ නැහැ. ඒකට ඇට වර්ගයකුත් එකතු කරගන්න ඕන.” ජනාධිපතිවරයා කියා සිටියේය. මේ අතර, උත්සවය අවසන් කර පිටතට එද්දී නිලධාරීන් කිහිපදෙනෙක් ඇමැතිවරයා වටකරගත්තේය. ඔබතුමාගේ “ජීවිතේ ඇත්තයි සත්තයි ‍පොතේ” නැති හුඟක් දේවල් තියෙනවානේ.” ඔවුහු කියා සිටියේ තමන්ගේ අත්දැකීම් අලලා ඇමැතිවරයා විසින් රචිත ‍පොත ගැන සඳහන් කරමිනි. “ඒ ඔක්කොම මම ඊළඟට ලියන ‍පොතේ තියෙනවා. හුඟක් දෙනෙක්ට ඒ ‍පොත පිටවුණදාට හුස්ම ගන්නත් අමතක වෙයි. ඇමැතිවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ උත්සව සභා දෙකකට සහභාගී විය. ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගිවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතා ආරාධනා කළේය. එම ආරාධනය බාර ගැනීමට ජනාධිපතිවරයා මදක් අදි මදි කළේ සබරගමුවේ පසුගිය කාලයේ දිගින් දිගටම අර්බුද මතු වූ තැනක් හේතුවෙනි. “මම බලාගන්නම් ඔබ තුමා එන්නකෝ” එස්.බි. අවසානයේ කීවේය. එදින උත්සවයේ එස්.බි දිසානායක ඇමැතිවරයා කළ කතාව සිසුන්ගේ පාර්ශ්වයට හිතකර එකක් නොවූවේය. එස්.බි. කතාව අවසන් කර ජනාධිපතිවරයා අසලින් අසුන් ගත්තේය. “එස්.බි. කතාකරනකොට මම බලාගෙන හිටියේ, දැන් හූ කියයි දැන් හූ කියයි කියලා” ජනාධිපතිවරයා සිනහාසෙමින් කීවේය. අනතුරුව එදින දහවල් බලංගොඩ මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියේ සබරගමුව පළාත් සභාව විසින් සංවිධානය කර තිබූ අභිමන් මාතා මාතෘ උපහාර උළෙලට සහභාගි වීමටය.

දුවා දරුවන් අට දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් දැයට දායාද කළ එසේත් නැතිනම් උපාධිධාරී දූ දරුවන් තිදෙනකුට වඩා පිරිසක් සිය කුසින් හදා වඩා සමාජ ගත කළ රත්නපුර දිස්ත්‍රික්කයේ වයෝවෘද්ධ මාතාවන් දෙදහස් එකසිය දෙනෙකු මෙම අභිමන් මාතා ප්‍රණාම උළෙ‍ලේදී පිදුම් ලදහ.

දරුවන් 21 දෙනෙකු හැදූ වැඩූ ගොඩකවෙල ඩබ්.එම්. ‍පොඩිනෝනා මාතාවගේ නම කියවෙත්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දක්නට ලැබුණේ සියක් වසකට ආසන්න එකී වයෝවෘද්ධ මාතාව වේදිකාවට ගෙන ඒමට සංවිධායකයෝ යුහුසුළු වන බවය. එය වැළකූ ජනාධිපතිවරයා තමාම එකී මෑණියන් අභියසට ගොස් ඇයට උපහාර තිළිණ ඇතළු සිය ප්‍රණාමය පළ කළේය. එදින වේදිකාවේ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්, ආණ්ඩුකාර වි.ජ.මු ලොකු බණ්ඩාර, අභිමන් මාතා උපහාර උළෙල නිර්මාතෘ සබරගමුව පළාත් අමාත්‍ය භාණු මුනිප්‍රිය, අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරචිචි, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන් ලාල් ග්‍රේරු, රංජිත් සොයිසා මෙන්ම පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුද වූහ.

එම විද්‍යාලයේ 8 වසර ශිෂ්‍යාවක වූ යුරේෂා බධිධනී දැරිය ජනපතිඳු අමතමින් විශේෂ ඉල්ලීමක්ද කළාය. තම පාස‍ලේ සහෝදර දරු දැරියන් සඳහා පිහිණුම් තටාකයක් ඉදිකර දෙන්නැයි ඇගේ ඉල්ලීම විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේ එදින උදෑසන සබරගමුව විශ්ව විද්‍යාලයට ගිය තමා වටකරගත් සිසු සිසුවියන් ඔවුන්ට පානීය ජල ගැටලුවක් ඇතැයි සඳහන් කරමින් විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටි බවය.

එතන ළමයි බොන්න වතුර ඉල්ලනවා. ඒ වතුර නැති නිසා. මෙතන ළමයි පිහිණුම් තටාකයක් ඉල්ලනවා. ඒ මෙතන ඕන තරම් වතුර තිබෙන නිසා. මේ ඉල්ලීම් දෙකම එකම මැතිවරණ කොට්ඨාසයේ. මේ වගේ මහ ඇමැතිවරු මැති ඇමැතිවරු ආණ්ඩුකාරවරු සිටින පළාතක මෙවැනි ඉල්ලීම් ඉටුකිරීම මහ ලොකු කජ්ජක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතා එසේ පවසමින් මහීපාල හේරත් මහ ඇමැතිවරයා ඇතුළු පිරිස දෙස බැලුවේ සුපුරුදු මදහස පිරුණු මුහුණිනි.

එකී පාස‍ලේ ප්‍රයෝජනය සඳහා නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පුටු 200ක් පරිත්‍යාග කළේ යැයි විදුහල්පති ආර්.එම්. යසරත්න මහතා ජනාධිපතිවරයාට කීය. එහෙනම් ඉතිරි 400 මාමයි ‍ලේලියි එකතුවෙලා බෙදලා දේවී. ජෝන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරචිචි දෙස බලමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සඳහනත් සමග මුළු සභාවම සිනහාසුනේය.
කෙසේ වෙතත් පළාත් අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා දෙපස අසුන් ගෙන සිටි පවිත්‍රා සහ ජෝන් ඇමැති දෙ‍පොළ අතර, වැඩි කතා බහක් නම් නොවිණි.

පසුගියදා සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතාට විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර යන මහත්වරුන්ගෙන් විශේෂ ඇරයුමක් ලැබිණි. ඒ ඔවුන් නියෝජනය කරන කලවාන සහ නිවිතිගල මැතිවරණ කොට්ඨාස දෙකේ සබරගමුව පළාත් සභා අරමුදලින් ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 4ක් විවෘත කිරීම සඳහාය. ඒ අනුව කලවාන මැතිවරණ කොට්ඨාසයේ වේරගම අලුතින් ඉදිවූ දෙමහල් ග්‍රාමීය රෝහල මහීපාල හේරත් මහ ඇමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

ලක්ෂ සියයක වියදමින් ඉදිවූ දෙමහල් ගොඩනැගිල්ල පරීක්ෂා කරමින් ආරාධිතයින් පිරිස වාට්ටු ගොඩනැගිල්ලකට පිවිසිනි. එහි රෝගීන් සඳහා ඇඳන්වල මල් මෝස්තර සහිත රෝස් පැහැකොට්ට රැසක් තිබූ අතර, මහ ඇමැතිවරයා ජානක වක්කුඹුර අමතමින් ඇසුවේ ෂා අපූරු කොට්ටඋර ගෙදරින් ද මහගෙන ආවේ යනුවෙනි.
අනතුරුව පිරිස දන්ත සායනය වෙත පැමිණියහ. මහ ඇමැතිතුමෝ අපි මුල්ම දත ජානක වක්කුඹුර මන්ත්‍රීතුමාගේ ගලවලම වැඩපටන් ගනිමුද ප්‍රේමලාල් ජයසේකර මහ ඇමැතිවරයාගෙන් විමසීය.
මහ ඇමැතිවරයා සඳහන් කළේ ජානකගේ දත් ගැලවිල්ල ‍ලේසි පහසු කටයුත්තක් නොවන බවය.

උගන්ඩාවේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 23 වැනි සමුළුවට සහභාගිවීම සඳහා මෙරටේ නියෝජිත පිරිසක් පසුගියදා පිටත්ව ගියේය. මෙම සමුළුවට යෑම සඳහා එජාපයේ මහා ‍ලේකම් තිස්ස අත්තනායක මහතා සූදානමින් සිටියදී එජාප මූලස්ථානය වූ සිරිකොතට පැමිණිලි රාශියක් ගලාගෙන ආවේය. ඉන් කියැවුණෙ එජාපයේ යාපනයේ පැවැත්වෙන මැයි රැලියට අමතරව තවත් රැලියක් සංවිධානය වෙමින් තිබෙන බවය. මෙය සුදුසු තත්ත්වයක් නොවන බව ඔවුහු පෙන්වා දුන්නේය. ජෝෂප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග ලක්ෂ්මන් කිරිඇල්ල යන ‍‍‍ජ්‍යෙෂ්ඨයන් මෙම පැමිණිලි ඉදිරිපත් කළේය. මෙම පැමිණිලි සියල්ල එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බාරදුන් මහ ‍ලේකම්වරයා විදසේ ගතවෙද්දී ලැබෙන පැමිණිලි සියල්ල එජාප නායකත්වය වෙත ලබාදෙන ලෙස සිය කාර්යය මණ්ඩලයට ද උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ‍‍‍ජ්‍යෙෂ්ඨයන් අමතමින් කරුණු ගෙනහැර දැක්වූයේය. “අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් අරන් තියෙනවා. අපේ මැයි රැලිය තියන්නේ යාපනයේ කියලා. ඊට අමතරව ප්‍රේමදාස ගුණ සමරුව තියෙනවා. සජිත් අපෙන් ඉල්ලුවේ තමන්ගේ තාත්තාගේ ගුණ සමරුව තියෙන නිසා එයාව යාපනයේ වැඩෙන් නිදහස් කරන්න කියලානේ. කොහොම වුණත් අපි සිංහල අවුරුද්ද පහුවෙලා මේ ගැන පරීක්ෂණයක් කරමු. අපි යාපනයේ මැයි දින උත්සවයට අනුරාධපුරෙන් ‍පොළොන්නරුවෙන් 100 ගානේ ගෙනත් අනිත් සියලු ආසනවලින් 50 ගානේ ගෙන්වන්න කියලා තියෙනවානේ. බලමු කොහොමද කට්ටිය කටයුතු කරන්නේ කියලා” හෙතෙම කියා සිටියේය.

පසුගිය 03 වන දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී දේශපාලන මණ්ඩල සාමාජිකයින්ගේ රැස්වීමක් පැවැත්විණ. එහිදී මුලින්ම කතාබහට එක්වුණේ ලාල්කාන්ත මන්ත්‍රීවරයායි. “ආණ්ඩුව කරපු බදු වැඩිකිරීමේදී වැඩිම බදු ප්‍රමාණයක් වැඩිවෙලා තිබෙන්නේ මෝටර් බයිසිකල් සහ ත්‍රීවීල්වලට. ඒ වාහන කියන්නේ ‍පොඩි මිනිහගේ වාහන. ඉතිං මෝටර් බයිසිකල් එකක් ගන්නේ අමාරුවෙන් සල්ලි කීයක්හරි එකතු කරලා. ආණ්ඩුව දැන් ඒකට වැඩේ දීලා ඉවරයි. කොහොමත් ආණ්ඩුව බරපටවන්නේ ‍පොඩි මිනිස්සුන්ට, ආණ්ඩුව කියනවා වාහන ගොඩාක් රටට ඇවිල්ලා ඒ නිසා වාහන ප්‍රමාණය සීමා කරන්න බදු වැඩිකරනවා කියලා. ඒක නමෛයි ඇත්ත කතාව. ආණ්ඩුව උගුලක අහුවෙලා. කිසිම වැඩපිළිවෙළක් නැහැ. දුර දකින්න පුළුවන් නායකයෙක් නැහැ. ඒ නිසා සැරෙන් සැරේට බදුගහමින් සල්ලි හොයන එදාවේ‍ලේ ආණ්ඩුවක් වෙලා. ආණ්ඩුව කියනවා රටේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා ඒකට අනුව තමයි බදු ගහන්නේ කියලා. නුමත් ගිය අවුරුද්දේ එකපාරම ආණ්ඩුව බදු අඩුකළා එක වෙලාවක. දැන් ඒවට හරියන්න බදු වැඩිකරනවා 100න් 200න් ආණ්ඩුවේ කළමනාකරණය එකෙන් පේනවා. එක්පාරට අඩුකරනවා. එකපාර වැඩිකරනවා. වෙන මොකුත් ‍නෙවෙයි ආණ්ඩුව කරන්නේ අයි.එම්.එෆ්. එක කියන දේවල්.” හෙතෙම පෙන්වා දුන්නේය.
“අයි.එම්.එෆ්. එකේ ණය වාරිකය ගන්න ආණ්ඩුව ඒ අය කියන දේවල් කරනවා. බටහිර සතුටු කරනවා. හරි පැහැදිලියි අයි.එම්.එෆ්. එකේ ශ්‍රී ලංකා ප්‍රධානියා කියලා තිබුණා අපි සතුටු වෙනවා. ලංකාවේ බදු වැඩිකිරීම පිළිබඳව කියලා. ඒ නිසා ලංකාවේ ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදයේ ආර්ථික වුවමනාවන් ඉටුකරන බව හොඳටම පැහැදිලියි.” ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා කීවේය.

“ඇත්තටම ආණ්ඩුව නිසි විදේශ ප්‍රතිප්තතියක් නැහැ. ඒ නිසා වෙන රටවල් ඉස්සරහ හෑල්ලුවට පත්වෙනවා. මේ පරාජයන් හැමදේටම මුල ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ අංගවිකලකමයි. රටට අභියෝග එන්නේ ඒ නිසයි. පහුගිය වතාවේ අපට සහාය දුන්න රටවල් මේ සැරේ විරුද්ධ වෙලා. ඒ රටවල් ටික රැකගන්නත් ආණ්ඩුවට බැරිවුණා. ජිනීවාවලට ආණ්ඩුවේ මන්ත්‍රීවරු. ඇමැතිවරු විශාල කණ්ඩායමක් ලොකු වියදමක් කරලා යවලා අවසානයේ ප්‍රතිඵලය බිංදුවයි. විශේෂම දේ තමයි, අවසාන දවසේ තමරා කුුනනායගම්ට වාඩිවෙන්න සීට් එකක් නැහැ. මෙහෙන් ගිය අය පුටුවල වාඩිවුණාම එයාට තැනක් නැති වෙලා. අන්තමට වැඩේ කරන්න හිටපු කෙනා එළියේ, සවාරි ගහපු අය, ආපු අයගේ මූණවල් දිහා බලන් ඉඳලා ආවා. ඇවිල්ලත් නිකන් හිටියද ? තමන්ගේ පරාජය වහගන්න පම්‍පෝරි ගහන්න ගත්තා. ජී.එල්. පීරිස් එකක් කියනවා. නිමල් සිරිපාල එකක් කියනවා. ලක්ෂ්මන් යාපා තව එකක් කියනවා. ආණ්ඩුවෙත් නිල ප්‍රකාශයක් නැහැ. හත්‍පො‍ලේ ගාගන ඉන්නේ. පරාජය වහගන්න එක එක දේවල් කියලා මේ ප්‍රශ්නය තවත් පටලවාගන්නවා. කවටයෝ ටික දාලා ප්‍රශ්නය වහගන්න කවට කතා දානවා. මේ සම්බන්ධයෙන් විවාදයක් අපි ඉල්ලලා තියෙනවා. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට හොඳ උත්තරයක් දෙමු” අනුර දිසානායක කීවේය.
“අලුත් අවුරුදු උත්සව කාලයත් ඇවිල්ලා ඇත්තටම ජනතාවට අවුරුදු කන්න වෙන එකක් නැහැ. බදු වැඩිවෙලා වාහන මිල වැඩිවෙලා, බස් ගාස්තු, විදුලි ගාස්තු, පාරිභෝගික භාණ්ඩ මිල වැඩිවෙලා. අවුරුදු කන්න ‍නෙවෙයි ලෙවකන්නයි වෙන්නේ. මේවට ආණ්ඩුවට උත්තර නැහැ. රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ. අර්ධ රාජ්‍ය ආයතනවල බෝනස් කපලා. වරාය සේවකයන්ට මාස 10-12 හිඟ වැටුප් දීලා නැහැ. ආණ්ඩුව ප්‍රශ්නය යටකරන්න එක එක දේවල් කරමින් ඉන්නවා.” විජිත හේරත් කීය.

මේ පසුගිය 04 වෙනිදා පාර්ලිමේන්තුවේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට මන්ත්‍රීන් කිහිප දෙනෙක් හමුවිය. කලින් දවසේ තිබුණ බන්දුල ඇමැතිගෙයි රවි මන්ත්‍රීවරයාගෙයි විවාදය ගැන ඔවුන් කතා බහ කළේය. “බන්දුල ඇමැතිවරයා ඉස්කෝලවලයි, විශ්ව විද්‍යාලවලයි කැන්ටින්වල ටෙන්ඩර් ටිකක් අරගෙන ඇවිල්ලා ඒක කියවන්න ගත්තා. ඒවා හරියනවද රටේ මිනිස්සුන්ට. බන්දුල හිතන් ඉන්නේ රටේ ඉන්නේ පාසල් ළමයි විතරයි කියලා. අපේ රවීටත් ඉතිං විශ්ව විද්‍යාල ගැන අදහසක් ඇත්තෙම නෑනේ. බන්දුලගේ ටෙන්ඩර් ගැන අහගෙන ඉඳලා ආවා. අඩුම ගානේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න විශ්ව විද්‍යාලවල කැන්ටින්වලට යන්න කියලද බන්දුල කියන්නේ කියන එක අහගන්න බැරිවුණා.” රජයේ මන්ත්‍රීවරයෙක් හඳුන්නෙත්තිට කීය. “ඒ කතාව නම් හරි තමයි විවාදේ යන වෙලාවේ මට කෝල් කරලා කට්ටිය ඇහුවා මන්ත්‍රීතුමා මොකද ගියේ නැත්තේ කියලා මම කිව්වා බන්දුල තමන්ට හැප්පෙන්න ‍ලේසි කෙනෙක් තෝරගත්තා කියලා. අපි ලියුම් යැව්වා විවාදෙට එන්න කිව්වා නමුත් බන්දුල මග ඇරියා කියලා.” හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය.

“යූඑන්පී. එකේ අපිට කේන්තියි. විවාදේ කරුණු හරියට ඉදිරිපත් කරන්න බැරි වුණා. මිනිස්සුන්ට පුළුවන් වැඩත් තියෙනවා. බැරි වැඩත් තියෙනවා. ජේවීපී එකේ කවුරු හරි ගියානම් බන්දුල හිර කරන්න තිබුණා. මටනම් විවාදේ බලන්න හිතුණෙත් නැහැ. කේන්තියට ටීවී එක වහල නිදා ගත්තා. ඇත්තටම මට ඒ තරම් රවිත් එක්ක කේන්තියි.” තවත් එජාප මන්ත්‍රීවරයෙක් කතාවට එක් වෙමින් කීවේය.

“ඒක තමයි ටීඑන්එල් එකේ පත්තර කියවන වැඩසටහනෙදීත් කියලා තිබුණා. රවීට හරියට කරුණු ටික කියාගන්න බැරිවුණා කියලා. ජවිපෙ කවුරුහරි ගියානම් බන්දුලට කට උත්තර නැති වෙන්න දෙන්න තිබුණා කියලා. එජාපෙට හරියට විවාදයකට යවන්න කෙනෙක් නැද්ද කියලා. දැන් මිනිස්සු අපෙන් අහනවා මන්ත්‍රීතුමා අපිට 2500න් ජීවත් වෙන්නත් බැහැ හැබැයි එජාප මන්ත්‍රීවරුන්ට 2500න් ජීවත් වෙන්න බැහැ කියලා කියාගන්නත් බැහැ කියලා. කතාව ඇත්තනේ. මිනිස්සු තරහින් ඉන්නවා මේ ජීවන වියදම දරාගන්න බැරුව අමාරුවෙන් ජීවිතේ ගැටගහ ගන්නවා. ඒ මදිවට ආණ්ඩුවේ ඇමැතිවරු කවට කතා කියනවා. ඒවට උත්තරයක් දෙන්න කෙනෙක් නැහැ. ජන හා සංඛ්‍යා‍ලේඛනේ තියෙනවා. එක් කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල රුපියල් 3900 ගාණක් කියලා. ඒක අරගෙන ගිහින් කියාගන්න රවීට බැරිවුණා. විශ්ව විද්‍යාලවල ඇත්ත ටෙන්ඩර් පටිපාටිය කියාගන්න බැරිවුණා. දැන් මිනිස්සුන්ට බන්දුල ඇමැතිවරයාට වඩා රවිත් එක්ක තරහයි. බන්දුල කියපු කතාව බොරු කරගන්න බැරිවුණා කියලා.” හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේය.

lakbima.lk

No comments:

Post a Comment