Sunday, April 8, 2012

සුව සේවයේ කම්කරු රැකියා හොරට ලබාගෙන - වැඩ බාර ගන්නට යද්දී අත්අඩංගුවට

* නැ’හිර පළාත් ඇමැතිවරයකුගේ පුද්ගලික ලේකම් පත්වීම් දෙන්න ලක්‍ෂ 2ක් ගත් බවට චෝදනා

අම්පාර දිසා විශේෂ – එල්. දෙහිගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සනීපාරක්‍ෂක කම්කරු පත්වීම් දෙකක් ලබාගෙන අම්පාර මහ රෝහලේ වැඩ බාර ගැනීමට යාමේදී එම පත්වීම් ව්‍යාජ ඒවා බවට ඔප්පු වීම නිසා අම්පාර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් පත්වීම්ලාභීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

වෙල්ලාවලි ප්‍රදේශයේ පදිංචි ඩී. එල්. සිවකුමාර් හා කළවංචිකුඩි පදිංචි ටී. රදිකා යන එම දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර අතිරේක මහේස්ත්‍රාත් එම්. එස්. පි‍්‍රමිති මහත්මිය නියෝග කළාය.

නැඟෙනහිර පළාත් සභාවේ ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු මෙම පත්වීම් ලබාදීමට රුපියල් ලක්‍ෂ 2ක මුදලක් ලබාගෙන ඇති බව පත්වීම්ලාභීන් පවසා තිබේ. අම්පාර මහ රෝහලේ පරිපාලන නිලධාරියාට මෙම පත්වීම් පිළිබඳව ඇතිවූ සැකය මත මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එවැනි පත්වීම් නුදුන් බවත් ඔවුන් පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් දන්වා තිබේ. මෙම පත්වීම්වලට අස්සන තබා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්‍ෂවරියක් බවත්, එවැනි නිලධාරිනියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති බවත් කරුණු අනාවරණය වේ.

කූඨ ලෙස මෙම පත්වීම් ලිපි සාදා ඇති බවට පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නැගෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් වන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසත්, තවත් මෙවැනි පත්වීම් ලබාදී ඇත්ද යන්න සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන ලෙසත් මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

Dinamina 2012.04.07

No comments:

Post a Comment