Wednesday, April 25, 2012
මෙන්න විස්‌තරේ දැඩි සත්කාරේ
කාමරය සීතලය. එහෙත් අපගේ ගත නම් උණුසුම්ය. බැලු බැලු දෙසින් දිස් වන්නේ යහන් මත වැතිරී සිටින සිහිසුන් රෝගීන්ය. කෘත්‍රිම ස්‌වසන යන්ත්‍ර, හෘද ස්‌පන්දන යන්ත්‍ර ආධාරයෙන් පණ රැකගෙන සිටින රෝගීන්ය. කොළ පැහැති කබා ඇඳ, සුදු පැහැති තොප්පි පැළඳගත් වෛද්‍යවරු, හෙදියෝ ද රොබෝවරුන් මෙන් එහෙට මෙහෙට යමින් රෝගීන් පරීක්‍ෂා කරති. සෑම රෝගියෙක්‌ගේම හදවත ගැහෙන රිද්මය හෘද ස්‌පන්දන යන්ත්‍රයේ තිරයේ දිස් වේ. දැන් දැන් මගේ හදගැස්‌ම ද වේගවත් වනවා සේ මට දැනේ. සිත භ්‍රාන්ත වූවා සේය. නළල් තලයේ උණුසුම් ඩා බිඳු කිහිපයක් මතු වෙමින් තිබිණි. අපි එක තැන කරකැවෙමින් දසත විපරම් කළෙමු.
වෛද්‍යවරු සහ හෙදියෝ කිහිප දෙනෙක්‌ම ගිලන් යහනක් වට කරගෙන එක් රෝගියෙක් පරීක්‍ෂා කරමින් මොනවාදෝ කතා කරමින් සිටිති. අප සමග කතාබහ කරමින් සිටි හෙදිය ද මොහොතකට අපට සමුදී ඔවුන් අතරට එකතු වූවාය. වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ට වට වූ රෝගියාව දැකබලාගැනීමට අපගේ දෙනෙත් නොඉවසිලිමත්ය. අප අතර කිසිම හඬක් නොනැඟේ. ඈත් මෑත් වෙන හෙදියන් අතරින් යහනේ වැතිරී සිටින රෝගියා දෙසට අපගේ දෙනෙත් ඉගිලී යන්නට විය. අදහාගැනීමටවත් නොහැකිය. යෞවනයේ දොරකඩ සිටින තරුණයෙකි. ඔහුගේ සිහිසුන් ගත වයර් ගොඩකට සම්බන්ධ කර ඇත. ජීවිතයක් ජීවත්කරවීමට වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද නොනිමි සටනකය. මොහොතක් අපි ඒ දෙස බලා සිටියෙමු. මගේ දෙනෙත් කැවෙන්නට පටන් ගැනිණි. ගැහෙමින් තිබුණු හදවත නතර වූවා සේ දැනිණි. තවත් මොහොතක්‌වත් එහි රැඳීමට නොහැකිය. මරණය මොනතරම් අනපේක්‍ෂිත දෙයක්‌ද? පණැති සියලු මිනිසුන් පිටුපසින් මරණය හෙවණැල්ලක් සේ ලුහුබඳිනා බව සැබෑය. එහෙත් මේ තරම් ඉක්‌මනින් අනපේක්‍ෂිත ලෙසින් තරුණ ජීවිත පසු පස මරණය හඹා එන්නේ ඇයිද? සිතමින් අපි කාමරයෙන් එළියට ගමන් කළෙමු.
අප මේ සිටින්නේ කොහේද? දෙලොවක් අතරද? නැත... කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයකය. දැඩිසත්කාර ඒකකයන්හිදී රෝගීන්ට සිදුවෙන සත්කාරයන් මෙන්ම එහි නොපෙනෙන පැතිකඩයන් සමාජයට විවර කිරීමේ අදහසින් අපි පසුගිය දිනක කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයන් කිහිපයකට ගියෙමු.
නැවත අපගේ දෙනෙත් වීදුරු කවුළුවෙන් ඇතුළත විපරම් කරන්නට විය.
"ඔයාලගෙ කවුරුහරි ඉන්නවද?" අප එසේ බලා සිටිනු දැක විශ්වාසභංගත්වයෙන් මෙන් එහෙට මෙහෙට ගමන් කරමින්, මොහොතින් මොහොත වීදුරු කවුළුවෙන් එබී බලමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපගෙන් එසේ විමසූහ.
"නැහැ... අපි දැඩිසත්කාර ඒකකය ගැන තොරතුරු ටිකක් දැනගන්නයි ආවේ..." උපාලි අයියා එසේ පිළිවදන් දුන්නේය.
"අපේ සාජන්ට් මහත්තයෙක් වාහනේක හප්පගෙන ගිහින් ගොඩක් අමාරුයි. එයාව දැඩිසත්කාර ඒකකයට දාලා තියෙනවා. අපි ආවේ එයා බලන්න." පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
කාලය ගෙවී ගියේය. අපට තවත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් අපි සමග කතා බහ කරමින් සිටි හෙදිය පැමිණෙන තුරු බලා සිටියෙමු. පොලිස් නිලධාරීන් දෙදෙනා ද ඔවුන්ගේ මිත්‍රයා ගැන තොරතුරක් ලැබෙන තෙක් නොඉවසිලිමත්ය.
දැඩිසත්කාර ඒකකයේ දොර විවර විය. කොළ පැහැති කබා ඇඳගත් වෛද්‍යවරයෙක් මුඛ ආවරණය ඉවත් කරමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඇමතීය.
"අනතුර වෙච්ච වෙලාවෙ ඉඳලම ලෙඩා හුස්‌ම ගන්න ට්‍රයි කරලාම නැහැ. ඒ නිසා මොළයට ඔක්‌සිජන් ලැබිලා නැහැ. හාට් එක වැඩ කරන්නෙත් නැහැ. අපි උපරිම උත්සාහ කරමු."
වෛද්‍යවරයාගේ මුවින් ගලා ගිය වචනවලින් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මුහුණු තව තවත් අඳුරු වළා පටලයකින් වැසී ගියේය. දෙදෙනාම ඔළුවට අත ගසා ගත්හ. "පුංචි දරුවෙක් ඉන්නෙ." එක් පොලිස් නිලධාරියෙක් අප දෙසට හැරුණේය.
"දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් ඒ මනුෂ්‍යයාට මොකුත් කරදරයක් වෙන එකක් නැහැ." මම සිතින් එසේ මිමිනුවෙමි.
දැඩිසත්කාර ඒකකයක් යනු අසාධ්‍ය රෝගීන්ව දැඩි ලෙස නිරීක්‍ෂණය කිරීම සඳහා වෙන් කර තිබෙන විශේෂ ස්‌ථානයකි. ශ්‍රී ලංකාවේ පළමු වරට දැඩිසත්කාර ඒකකයක් ආරම්භ කළේ කොළඹ ජාතික රෝහලේය. ඒ මීට දශක පහකට පමණ පෙර බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් කාරියවසම් මහතා අපට පැවසීය.
සාමාන්‍ය රෝහල් වාට්‌ටුවක රෝගීන් දස දෙනකු සඳහා සත්කාරක සේවයේ යෙදී සිටින්නේ එක් හෙදියක් පමණි. එහෙත් දැඩිසත්කාර ඒකකයකදී එක් රෝගියකුට එක් හෙදියක් බැගින් සේවයේ යොදවා සිටිති. රෝගියා බාර හෙදිය පැය විසිහතර පුරාම අදාළ රෝගියා පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. රෝගියාගේ හද ගැස්‌ම, රුධිර පීඩනය පිළිබඳ නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කරමින් යම් වෙනසක් ඇති වේ නම් වහාම වෛද්‍යවරයා දැනුවත් කිරීම හෙදියගේ ප්‍රධාන කාර්යභාරයකි. එමෙන්ම සාමාන්‍ය වාට්‌ටුවල නොමැති උපකරණ රැසකින් දැඩිසත්කාර ඒකක පොහොසත් බව ද කිව යුතුමය.
හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ නම් සියලුම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සිටිති. නමුදු අනෙකුත් දැඩිසත්කාර ඒකකයන් තුළ සිටින්නේ අදාළ රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පමණි. එමෙන්ම දැඩි සත්කාර ඒකකයක වැඩි වගකීම පැවරී ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරයාටය. රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්‌පන්දනය, හුස්‌ම ගැනීමේ හැකියාව ඇතුළුව රෝගියා බාහිර උපකරණවලින් තොරව පියවි සිහියට පැමිණෙන තෙක් අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ නිර්වින්දන වෛද්‍යවරයා ය.
එක් රෝගියෙක් වට කරගෙන පරීක්‍ෂා කරමින් සිටි වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද මුහුණු ප්‍රසන්න සිනාවකින් හැඩ කරගෙන දැන් දැන් ඈත් මෑත් වෙන අයුරු වීදුරු කවුළුවෙන් අපට පෙනිණි. එහෙයින්ම ඒ රෝගියා තවත් ජීවත් වීමට වාසනාවන්ත වී ඇතැයි අපට සිතේ. දැඩිසත්කාර ඒකකය තුළදී අප සමග කතා බහ කරමින් සිටි දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය නැවත අප අතරට එක් වූහ. ඇය හදිසි අනතුරු දැඩිසත්කාර ඒකකයේ සහ හදිසි අනතුරු දැඩි නිරීක්‍ෂණ ඒකකයේ සේවය කරන්නීය. 2005 වසරේ සිට මිනිස් ජීවිත ජීවත් කරවීමට ජීවන අරගලයක යෙදී සිටින ඇය අත්දැකීම් පොදියක් තුරුළු කරගෙන සිටින හෙද සොයුරියකි.
"පසුගිය යුද්දෙ කාලේ බරපතළ ලෙස තුවාල වුණු සෙබළුන් වගේම, බෝම්බවලට පිච්චුණු සාමාන්‍ය මිනිස්‌සු දිනපතාම වාගේ රෝහලට ගෙනාවා. ඒ ජීවිත බේරාගන්න අපි හැමෝම එකා වගේ, එක දිගට පැය 36-42 සේවය කරලා තියෙනවා. මට අර වැඩේ තියෙනවා අද අනිවාර්යෙන්ම යන්න ඕනෑ කියලා කවුරුවත් කිව්වේ නැහැ. කෑම බීම, ගෙවල් දොරවල්, දරුවන් ගැනවත් එදා අපි හිතුවේ නැහැ. ඒ ජීවිත ජීවත් කරවීමට වෙහෙසුණා."
"යුද්දෙ කාලේ විතරක් නෙමෙයි, අපි හිතමු අද මට තියෙන්නෙ පැය හයේ වැඩ මුරය කියලා. එහෙමයි කියලා පැය හය ගෙවිලා ගිය ගමන් අපිට ගෙදර දුවන්න බැහැ. රෝගියාගේ සියලුම දේ කරලා ඉවර වෙලා තමයි අපි යන්න ඕනෑ. ඒ වැඩ ටික ඉවර වෙනකොට කීය වෙනවද කියන්න බැහැ. වෙන රැකියා කරන අයට එහෙම නෙමෙයිනේ. අද බැරි නම් හෙට ඇවිත් කරන්න පුළුවන් කියලා හිතාගෙන යන්න පුළුවන්. අපේ රැකියාව ඒ විදිහ එකක් නෙමෙයි. අපිට එහෙම බැහැ. දැන් කළ යුතු දේ දැන්ම කරන්න ඕනෑ. කාලයට ප්‍රමුඛත්වය දෙන්න බැහැ. රෝගියාටයි මුල් තැන දෙන්න ඕනෑ."
"රෝගියාගේ සමාජ තරාතිරම මොකක් වුණත් අපිට මෙතැනදී වැඩක් නැහැ. දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරන සෑම රෝගියෙක්‌ම අපට එක සමානයි. අඩු වැඩි මෙතැනට වලංගු නැහැ. හැම ජීවිතයක්‌ම අපිට වටිනවා. කිසිම ජීවිතයකට මිලක් දෙන්න බැහැනේ. ඒ නිසා කිසිම රෝගියකුට විශේෂ සැලකිල්ලක් දක්‌වන්නේ නැහැ. හැම කෙනාටම එකම විදිහට සත්කාරක සේවය ලබා දෙනවා. අපේ එකම අරමුණ කෙසේ හෝ රෝගියාව ජීවත් කරවීමයි. ජීවිතයත් මරණයත් අතර සිටින මේ රෝගීන්ව සුවපත් වෙලා සාමාන්‍ය වාට්‌ටුවකට අරගෙන යන කොට දැනෙන සතුට ගැන කියන්න වචන නැහැ."
"අසාධ්‍ය රෝගීන් විදිහට මෙතැනට ඇවිත් ප්‍රතිකාර ගෙන පියවි සිහියට ආවට පස්‌සෙ සාමාන්‍ය වාට්‌ටුවකත් මාස ගණන් ප්‍රතිකාර ලබාගෙන ගෙවල්වලට යන රෝගීන් නැවත අපිව බලන්න එනවා. එහෙම ඇවිත් අපිට පිං දීලා ගිය අවස්‌ථා මෙපමණයි කියන්න බැරි තරම්. ඒ වගේ සිද්ධිවලින් අපි සතුටට පත් වෙනවා විතරක් නෙමෙයි, අපි තව තවත් දිරිමත් වෙනවා. මෙතැන ප්‍රතිකාර ගත්ත පුංචි දරුවෙක් ඊයෙත් අපිව බලන්න ආවා. ඇවිත් මාව දැක්‌ක විතරයි "මම ඔයාව අඳුරනවා. දැන් මට සනීපයි." කියලා හිනා වුණා. ඒ වචන ටික ඇහුණාම නම් මගේ ඇස්‌වලට කඳුළු ආවා. පුංචි දරුවෙක්. එයාව මෙතැනට ගෙනාවේ වාහනේක හැප්පිලා. එදා නම් අපිටත් එයා ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. සාමාන්‍ය තත්ත්වයට හැරුණු ගමන් අපි වාට්‌ටුවට දැම්මා. බලන්න සිහිසුන්ව මෙතැනට ආපු ඒ පුංචි දරුවටත් අපිව හොඳට මතකය තිබුණු හැටි. ඒ වගේ සිද්ධි නම් ජීවිතයට අමතක වෙන්නේ නැහැ."
"දැඩි සත්කාර ඒකකයට රැගෙන එන බොහෝ රෝගීන්ගේ පියවි සිහිය දුර්වලයි. රෝගියෙක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට, එහෙම නැත්නම් පියවි සිහියට හැරෙනකොට තමයි රෝගියාට තෙරෙන්නෙ එයා ඉන්නේ කොහේද කියලා." දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය ඇයගේ වෘත්තිය ජීවිතය එසේ වචනවලට ගොනු කරමින් සිටියාය.
දැඩිසත්කාර ඒකකයන්හිදී අපි කතාබස් කළ වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද ප්‍රසන්න පෙනුමැති ශාන්ත කටහඬකින් යුක්‌ත අය වූහ. එහෙයින්ම ඔවුන්ව විශේෂ තෝරාගැනීමකින් පසු දැඩිසත්කාර ඒකකයන්වලට සම්බන්ධ කරගන්නේ දැයි මට සිතිණි. එය ඔවුන්ගෙන්ම දැනගැනීම අදහසින් අපි මෙවැනි ප්‍රශ්නයක් යොමු කළෙමු.
"දැඩි සත්කාර ඒකකයේ සේවය කිරීමකට විශේෂ සුදුසුකමක් තිබිය යුතුද?"
"හෙද සොහොයුරියක් වෙන්න හෙද විද්‍යාලයක අවුරුදු තුනක පුහුණුවක් ලබාදෙනවා. ඊට අමතරව දැඩිසත්කාර ඒකකයේ සේවය කරන්න මාස හයක විශේෂ පුහුණුවක් ලබාදෙනවා." සිනාමුසු මුහුණින් දිල්රුක්‌ෂි හෙද සොහොයුරියගෙන් කෙටි පිළිතුරකි.
"ජීවිතයත් මරණයත් අතර සිටින රෝගීන් සමග නිතර කාලය ගත කරන්නට සිදුව ඇති ඔබට ජීවිතය ගැන හැඟෙන්නෙ කුමන ආකාරයකින්ද?"
"අපි හෙද වෘත්තියට යොමුවීමේදී ලැබෙන පුහුණුවෙන් රෝගීන් පිළිබඳ යම් අවබෝධයක් ලබාගන්නවා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අපි හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ. අපගේ එකම බලාපොරොත්තුව අප වෙතට එන රෝගීන් කෙසේ හෝ ජීවත් කරවන්නයි. අප ප්‍රතිකාර කරන රෝගීයෙක් මිය ගියහොත් අපටත් එය දරාගන්න බැහැ. අපේ සිත සතුටින් පිරී යන්නේ රෝගියෙක් ප්‍රතිකාර ලබා සුවපත් වෙලා රෝහලෙන් පිටව යන විටයි.
"නිතරම ලේ දකින, තුවාල සහිත සිහිසුන් රෝගීන් දකින ඔබට ඒ රෝගීන් පිළිබඳ පිළිකුලක් ඇති වෙන්නෙ නැද්ද?" අපි නැවත එසේ පැනයක් යොමු කළෙමු.
"හෙද පුහුණුවේදීම අපේ මනස හදනවා. පිළිකුල, අප්පිරියාව, අපෙන් ඈත් වෙලයි තියෙන්නෙ. එහෙම තිබුණා නම් අපිට මේ වැඩ ටික කරන්න බැරි වෙනවා. අපේ සිත මූලිකත්වය දෙන්නෙ ජීවිත බේරාගන්න විතරයි. බාහිර සමාජයත් එක්‌ක බැලුවොත් රෝහල් සේවකයන්ට කිසිම කෙනෙකුට ඔය කියන පිළිකුල, අප්පිරියාව ඇති වෙන්නෙ නැහැ."
දැඩිසත්කාර ඒකකයකින් කෙරෙන කාර්යභාරය සුළු පටු නැති බව දැන් ඔබට තේරෙනවා ඇති. රෝගීන්ගේ සියලු වගකීම පැටවී ඇත්තේ ඒකකය භාරව සිටින වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ටය. එහි ප්‍රතිකාර ලබන්නේද අසාධ්‍යම රෝගීන්ය. ඔවුන් ගතින්, සිතින් සියලු තැන්හි දුර්වල හෙයින් ඔවුන්ගේ සිරුරුවලට විෂබීජ ඇතුළුවීමට වැඩි ඉඩක් ඇත. එහෙයින්ම දැඩිසත්කාර ඒකකය අධි ආරක්‍ෂිත කලාපයක් කරමින්, එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් බැලීමට අවස්‌ථාව ලබා දී ඇත්තේ සීමිත ඥාතීන් පිරිසකට පමණි.
"ඇයි අපේ ලෙඩාව බලන්න ඇතුළට යන්න දෙන්නෙ නැත්තේ. මේ මගේ තාත්තා. මේ මගේ අයියා. අර ඉන්නේ මගේ මල්ලි. මට දැන් එයාව බලන්න ඕනා. මට දැම්ම ඇතුළට යන්න ඕනා. මෙතැනට ඇවිල්ලා එහෙම ආවේගයෙන් කතා කරන අය ඕන තරම් ඉන්නවා. ඒ අයට තෙරෙන්නෙ නැහැ අපි හැමදේම කරන්නේ ඔවුන්ගේ ලෙඩාව ආරක්‍ෂා කරන්න බව. දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ගන්න රෝගීන්ව නිතරම බලන්න එක එක පුද්ගලයන් ආවොත් අපිට ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබාදෙන්න බැරි වෙනවා. අනිත් එක තමයි බාහිරින් පැමිණෙන පුද්ගලයන්ගේ සිරුරේ, ඇඳුම් පැළඳුම්වල ඇති විෂබීජ රෝගියාට ඇතුළු වෙනවා. දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියකුගේ ඇඳ ඇතිරිල්ල පවා ලබා දෙන්නේ රෝහලෙන්. ඒවා නිසියාකාරව විෂබීජ නාශක යොදලා පිරිසිදු කරලා තියෙන්නෙ. මේ හැම දේම කරන්නේ රෝගියාව සුවපත් කර ගැනීම සඳහායි." රෝගීන් බැලීමට එන ඔවුන්ගේ ඥතීන්ගෙන් ඉඳහිට හෝ එසේ තර්ජන ගර්ජන එල්ලවන බවද දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය එසේ පැවසුවාය.
ඔබගේ ඥතීන්, යහළු මිත්‍රාදීන් අනපේක්‍ෂිත ලෙස හදිසි අනතුරුවලට ලක්‌ව රෝහල්ගත කළ විට ඔබගේ සිත තුළ ඇති වන කම්පනය අපිත් අත්විඳ ඇත්තෙමු. එසේ යෑයි කියා සිතේ ඇති වන ආවේගයට ඔබ පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ඔබ විසින් සිතේ ඇති වෙන ආවේගය පාලනය කළ යුතුය. රෝහල්වල වෛද්‍යවරුන් මෙන්ම හෙද හෙදියන් ද වෙහෙසෙන්නෙ ඔබගේ රෝගියා ජීවත් කරවීමටයි. රෝහල යනු මනුෂ්‍යත්වයේ මහිමය උපරිමයෙන් කුළුගැන්වෙන තැනකි. එවැනි තැන්වලදීත් හික්‌මීමක් නැති අමනයන් ලෙස හැසිරෙන්නේ නම් මිනිසුන් නොව අමනුෂ්‍යයන් යෑයි කියමින් අපි කොළඹ ජාතික රෝහලට සමු දුන්නෙමු.
උපාලි ද සේරම්
තරංග රත්නවීර
ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත
Divaina 2012. 04. 22
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment