Sunday, April 1, 2012

හදවත් රෝගී දරුපැටවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන කරාපිටිය රෝහල

2012 මාර්තු 31 වෙනි සෙනසුරාදා, 17:41

කමල් විජේහේවා

ළදරු මරණ පෙළක් හේතුවෙන් මහමෙරක් තරමට සිත් තුළ භීතිකාවක් ඇති කළ ගාල්ල මහමෝදර රෝහ‍ලේ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හිටිහැටියේ අවදි වූයේ මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයට පින්සිදුවන්නටය.

ඒ අවදිවීමත් සමගම ගාල්ල කරාපිටිය රෝහ‍ලේද හදවත් රෝගීන්ගේ හදවත් සැත්කම් විශාල වශයෙන් පමාවීමට තුඩුදෙන විවිධ හේතු කාරණා පිළිබඳව විවිධ ක්‍ෂේත්‍රවලින් කතාබහ අසන්නට ලැබුණි. මේ ප්‍රමාදයන් හේතුවෙන් විශේෂයෙන්ම හදවත් රෝගවලින් පෙළෙන දරුවන්ගේ මෙන්ම තරුණ හා වැඩිහිටි අයගේද ජීවිත දැඩි අවදානමකට ලක්වන තත්ත්වයක්ද මතුවී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට කරාපිටිය රෝහ‍ලේ හදවත් සැත්කම් බලා‍පොරොත්තුවෙන් දරුවන් මෙන්ම තරුණ හා වැඩිහිටි හදවත් රෝගීන් දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ‍පොරොත්තු ‍ලේඛනවල සිටිතැයි පැවසෙන අතර නිශ්චිත කාලසීමාවකදි සැත්කම් සිදුකළ යුතු දරුවන්ගේ මෙන්ම තරුණ හා වැඩිහිටි හදවත් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන තත්ත්ව-යක් උද්ගතව ඇතැයි රෝහල තුළින් අසන්නට ලැබේ.

රුපියල් කෝටි 118ක ප්‍රංශ ආධාර මත කරාපිටිය හදවත් සැත්කම් ඒකකය නවීකරණය කිරීම සඳහා මාස අටක කාලයක් වසා දමා තිබුණේය. එය යළි හදවත් සැත්කම් සඳහා විවෘත කෙරුණේ 2011 වසරේ ඔක්තෝබර් විසිවන (20)දාය. ඉන් අනතුරුව එහි හදවත් සැත්කම් සිදුකරද්දී එහිදී විෂබිජ භීතිකාවක් රජ කරවමින් සිව්දෙනකු, මරුමුවට පත්වීමත් සමගම එම ඒකකය යළි වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තේ ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහාය.

වායු සමීකරණ යන්ත්‍ර ආශ්‍රිත දෝෂයකින් ශල්‍යාගාරයට විෂබිජ ඇතුළු වූ බව පසුව අනාවරණය විය. පරීක්ෂණ පැවැත්වීම හා යළි හදවත් සැත්කම් ඒකකය සුරක්ෂිත කිරීම සඳහා තවත් මාස 4ක කාලයක් ගතවන්නට විය.

යළි කරාපිටිය රෝහ‍ලේ හදවත් සැත්කම් ඒකකය සැත්කම් සඳහා විවෘත කෙරුණේ ගාල්ල මහමෝදර ශික්ෂණ රෝහ‍ලේ සිදුවූ ළදරු මරණපෙළ සමග ඇතිවූ විෂ බිජ භීතිකාවෙන් දින ගණනකට පසුව පසුගිය සතියේදීය.

හදවත් සැත්කම් කරගත නොහැකිව දහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක්, ‍පොරොත්තු ‍ලේඛනවල ජීවිත අවදානමෙන් පසුවන්නේ පුරා වසරකට වැඩි කාලයක් කරාපිටිය හදවත් සැත්කම් ඒකකය වසා දැමීමට සිදුවීමේ හේතුවෙන් බව රෝහල් ආරංචි මාර්ගවලින් හෙළිකර ගත හැකිය.

මේ ප්‍රමාදයන්ගේ හේතුවෙන් විශේෂයෙන් ගාල්ල කරාපිටිය රෝහ‍ලේ දරුවන්ගේ හදවත් සැත්කම් නිශ්චිත කාලසීමාවක් තුළ සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දැනගන්නට තිබේ. මේ අතර ගාල්ල කරාපිටිය හදවත් කැතීටකරණ ඒකකයේ, දරුවන්ගේ හදවත්වල ඇතිවන සිදුරු වසා දැමීම ඇතුළු ආබාධ යථා තත්ත්වයට පත්කරන සැත්කම් (කැතීටර් සැත්කම්) සිදුකිරීමේ පහසුකම් තවමත් නිර්මාණය නොකිරීමේ හේතුවෙන් එම දරුවන්ගේ සැත්කම් සිදුකිරීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට සිදුව තිබේ. ‍පොරොත්තු ‍ලේඛනවල සිටි එවැනි දරුවන් 50කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති බවද රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබිණි.

කැතීටර් සැත්කමක් මගින් ළදරු හදවතේ සිදුරු වසා දැමීම ඇතුළු ආබාධ යථා තත්ත්වයට පත්කිරීම කිසියම් නිශ්චිත කාලසීමාවකදී සිදුනොවන්නේ නම් එම දරුවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හදවත් රෝගවලින් පෙළෙන දරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට ලක්වන මෙවන් තත්ත්වයක් කරාපිටිය රෝහල තුළ උද්ගතවීමට හේතුවී ඇත්තේ ඊට අවශ්‍ය විශේෂ පහසුකම් පද්ධතිය හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලද නොමැතිකම නිසා බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරාගෙන් 'ලක්බිම' කළ විමසුමකදී අධ්‍යක්ෂවරයා මෙසේ සඳහන් කළේය.

කරාපිටිය හදවත් සැත්කම් ඒකකයේ හදවත් සැත්කම් මේ වනවිට සිදුකෙරෙනවා. දරුවන්ගේ හදවත් සැත්කම්ද මේවනවිට ආරම්භ කර තිබෙනවා. රෝහ‍ලේ සිටින දරුවන් මෙන්ම මාතර හා හම්බන්තොට ඇතුළු විවිධ ප්‍රදේශවලින් රෝහල වෙත රැගෙන එන දරුවන්ද ‍පොරොත්තු ‍ලේඛනවල සිටිනවා. ඒ අනුපිළිවෙළ අනුව, අනෙකුත් සැත්කම් සිදුකෙරෙන අතරතුර දරුවන්ගේ සැත්කම්ද සිදු-කෙරෙනවා.
නමුත් දරුවන්ගේ (කැතීටර්) සංකීර්ණ (හදවත්) සැත්කම් සඳහා එම දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකරන බව ඇත්ත. ඒ අතරතුර අවශ්‍ය පහසුකම් සහිතව අවුරුද්දකට සැරයක් මෙරටට පැමිණෙන විදේශීය ළමා හදවත් රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමටද දරුවන් යොමුකර සංකීර්ණ හදවත් සැත්කම් සිදුකෙරෙනවා රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

දරුවන්ගේ සංකීර්ණ හදවත් සැත්කම් සිදුකිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් ඉදිරියේදී කරාපිටිය හදවත් සැත්කම් ඒකකය තුළ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණහොත් දරුවන්ගේ සංකීර්ණ හදවත් සැත්කම් කරාපිටිය රෝහ‍ලේ දීම ගැටලුවකින් තොරව සිදුකළ හැකි බවද අප ඒ පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

මේ අතර කරාපිටිය රෝහ‍ලේ හදවත් රෝගීන්ගේ කැතීටකරණ ඒකකය විවෘත කර ඇති නමුත් ඊට අවශ්‍ය මූලික පහසුකම් සහ කාර්ය මණ්ඩලය නොමැතිකමින් හදවත් රෝගීන්ගේ පරීක්ෂණ සහ කුඩා දරුවන්ගේ හදවත්වල සිදුරු වසා දැමීමේ ප්‍රතිකර්ම කරාපිටිය රෝහ‍ලේ සිදුකළ නොහැකිව ඇති තත්ත්වයක් උද්ගතව තිබේ. වසරකට ආසන්න කාලයක් තිස්සේ ළමා හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන මංගල ගුණතිලක, ගාල්ල කරාපිටිය රෝහල තුළ සේවය සඳහා යොමුකර තිබුණද ඔහුගේ සේවය තුළින් හදවත් රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු හා කුඩා ළමුන්ගේ හදවත් සිදුරු වසාදැමීමේ ප්‍රතිකාර රෝහල තුළ සිදුකරගත නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මේ ප්‍රශ්නය හා ගැටලු සහගත තත්ත්වය කැතීටර්කරණ ඒකකය වෙත අවශ්‍ය මූලික පහසුකම් හා අවශ්‍ය කාර්ය මණ්ඩල ලබාදීම තුළින් විසඳාගත හැකි බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ දකුණු පළාත් ‍ලේකම් සරත් ජයන්ත ලක්බිම ඉරිදා සංග්‍රහයට පැවැසීය.
කරාපිටිය රෝහ‍ලේ හදවත් ඒකකය තුළ ඇති මෙම ගැටලු පිළිබඳ ක්ෂණික අවධානය යොමුකර ඒවා විසඳා දීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නේ නම් එය අසරණව සිටින ළමා සහ වැඩිහිටි හදවත් රෝගීන් දහස් ගණනකට මහත් සහනයක් උදාකරදෙන මහඟු පුන්‍යකර්මයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

lakbima.lk

No comments:

Post a Comment