Monday, April 30, 2012

දේශපාලකයින්ගේ පුද්ගලික වැඩට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 100 ක්‌!

අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන සියයකට අධික සංඛ්‍යාවක්‌ ප්‍රාදේශීය දේශපාලකයින් සහ අමාත්‍යාංශයේ නිලධාරින් තම පුද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇතැයි අනාවරණය වේ. එහෙත් මෙම වාහන සියල්ලේම නඩත්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකරන බවද මේ නිසා සෞඛ්‍ය සේවාවේ රාජකාරි කටයුතු සඳහා බරපතළ වාහන හිඟයක්‌ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති.

වාහන නොමැති නිසා අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සේවාවේ පරිපාලන අධ්‍යක්‍ෂවරුන්ට රාජකාරි සඳහා පොදු වාහන යොදා ගැනීමට සිදුව ඇතැයිද ඉහත නිලධාරීහු චෝදනා කරති.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අලුත් වාහන හතරක්‌ පරිහරණය කරන අතර ඉන් සුඛෝපභෝගි එක්‌ මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතා විසින් පරිහරණය කරන බවටද චෝදනා කරති. ආසන විසි හතරක වෑන් රියක්‌ද ඇය පාවිච්චි කරන අතර මවට සහ පියාටද වාහන දෙකක්‌ ලබා දී ඇතැයි මෙම නිලධාරීහු පෙන්වා දෙති.

මේ ආකාරයට අමාත්‍යාංශයේ විවිධ නිලධාරින්ද වාහන හතර පහ පාවිච්චි කරන අතර නියෝජ්‍ය ඇමැතිවරයාද වාහන විශාල සංඛ්‍යාවක්‌ පරිහරණය කරන බව ඔවුහු පවසති.

සාමාන්‍යයෙන් රජයේ වාහනයක්‌ පාවිච්චි කරද්දී අමාත්‍යාංශයේ රියෑදුරෙක්‌ යොදා ගැනීම අනිවාර්යය. මෙහිදී එවැන්නක්‌ සිදුකර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය වාහනවල අමාත්‍යාංශයේ නම යෙදිය යුතු බවට ඇමැතිවරයා නියෝග කර ඇති නමුත් මෙම වාහනවල එසේ නම යොදා නැතැයිද පැවසේ.

මේ පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සත්‍යයක්‌ බවය. මේ පිළිබඳ අමාත්‍යාංශ අධ්‍යක්‍ෂවරු එක්‌ව ජනාධිපති විමර්ශන අංශයට පැමිණිලි කිරීමට සූදානම්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අපි විමසීමක්‌ කළෙමු. මේ අවස්‌ථාවේ දී මේ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පැවැසුවේය.

Divaina 2012.04.29

No comments:

Post a Comment