Monday, April 30, 2012

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනවලට මඑපෙ විරෝධය

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවලට භාරදීම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහජන එක්‌සත් පෙරමුණ පිළි නොගන්නා බව එම පක්‍ෂය ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම පක්‌ෂයේ ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවලට භාරදීම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහජන එක්‌සත් පෙරමුණ අනුමත නොකරන බව මධ්‍යම කාරක සභාව යළිත් ප්‍රකාශ කරයි. තාක්‌ෂණ හා කළමනාකරණ උපාධි පිරිනැමීමට අවසර ගෙන ඇරඹි පෞද්ගලික ආයතනය (SAITM) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කොට ලබාදෙන උපදෙස්‌වලට පටහැනිව දිගින් දිගටම කටයුතු කිරීමෙන් ඇති වී තිබෙන ගැටලුව වෛද්‍ය අධ්‍යාපනයටත්, වෛද්‍ය සේවයටත් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් සොයා බලා සැලකිල්ලට ගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමැතිතුමා පත් කළ පරීක්‌ෂණ කොමිටි වාර්තාව ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව මගින් මෙතෙක්‌ නොමග යවන ලද කරුණු වල සත්‍යතාව පැහැදිලි කිරීම සිදු වී ඇත. එනම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) ඇති කිරීමට හා එහි අධ්‍යයන කටයුතු කර ඇත්තේ අනිවාර්යයෙන් අවශ්‍ය අදාළ ආයතනික අනුමැතිය හා අනුගමනය කළ යුතු පිළිවෙත්වලට පටහැනිව බවය.

සෞඛ්‍ය අමාත්‍යංශය ද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ද මෙහිදී කේන්ද්‍ර වන බවත් එම ආයතනයන්ගේ උපදෙස්‌ හෝ අනුමැතිය නොමැතිව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) කටයුතු කරගෙන ගොස්‌ ඇති බැවින් එම භයානක හා හානිකර ක්‍රියාවලිය නවතා දැමීමට රජය මැදිහත් විය යුතු බව මහජන එක්‌සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව ප්‍රකාශ කරයි. වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLIMC) හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය අවශ්‍ය නොවන බවත් ව්‍යාපාරික ප්‍රජාවගේ අරමුණු සඳහා ආයතන ඇති කරමින් කරන ප්‍රකාශයන් නිදහස්‌ සෞඛ්‍ය සේවයටත් වෛද්‍ය අධ්‍යාපනයටත් කරන්නේ හානිකර හා භයානක තත්ත්වයක්‌ බව අප පක්‌ෂය අවධාරණය කරන අතර කල් නොයවා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) කරගෙන යන ක්‍රියාකාරි කටයුතු නවතා දැමීමට කටයුතු කරන ලෙසත් අප තවදුරටත් ප්‍රකාශ කර සිටිමු.

Divaina 2012.04.30

No comments:

Post a Comment