Sunday, April 8, 2012

පත්වීම් ලබාගැනීමට සිටි සීමාවාසික වෛද්‍යවරු 22ක් ආගිය අතක් නෑ- ඇමැති මෛත්‍රීපාල

සිතාරා සේනානි

මෙවර පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා ගැනීමට නියමිතව සිටි වෛද්‍යවරුන් 238 දෙනාගෙන් විසිදෙනකු ආගිය අතක් නැතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මීට පෙර පත්වීම් ලබාගත් පිරිසෙන් හැත්තෑ ගණනක් ද මෙලෙස ආගිය අතක් නැතිව ගොස් තිබූ බවද ඇමැතිවරයා කියයි.
එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගී වීම සඳහා පසුගිය වසරේ අමෙරිකාවට ගිය අවස්ථාවේ තරුණ වෛද්‍යවරුන් කණ්ඩායමක් තමා හමුවීමට පැමිණි බවත්, ඔවුන් එම වසරේ ආගිය අතක් නැතිව ගිය වෛද්‍යවරුන් පිරිස බව දැනගැනීමට හැකිවූ බවත් ඇමැතිවරයා මෙහිදී සිහිපත් කෙළේය. මෙවර ආගිය අතක් නැතිව ගොස් ඇති විසිදෙනාද මෙලෙස රට හැර ගොස් ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 218 දෙනකු වෙත පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම නිමිත්තෙන් ජාතික රුධිර මධ්‍යස්ථානයේ ඊයේ (5) පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව හෙළි කෙළේය. ලෝකයේ දැනුම් වෙළෙඳපොළට අපේ වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, සැලැසුම් ශිල්පීන් එකතුවීම රටට මුදල් ලැබෙන මාර්ගයක් සේම ගෞරවයක් හා අභිමානයක් ගෙන දෙන්නක් බැවින් ඊට ඉඩදීමට තමන් කැමැති වුවත්, උපන් රටට යුතුකම් ඉටුකිරීම පළමු කොට සැළකිය යුතු යැයිද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කෙළේය. වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමැතිවරයා, එය සිදුවිය යුත්තේ රජයේ රෝහලේ කිරීමට නියමිත සේවය අවසන් කිරීමෙන් පසුව බවද පැවැසීය.

ලෙඩුන් ගැන තමන් කතා කරනවාට නවක වෛද්‍යවරුන් අකමැති බව ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීන් පිරිසක් නොබෝදා තමා සමඟ පැවසූ බව සිහිපත් කළ ඇමැතිවරයා, සුළු සේවකයන්ගෙන් පවා අප කාහටත් ඉගෙන ගැනීමට ;බාහෝ දේ ඇති බව සියලුදෙනා සිහිතබා ගත යුතුව ඇතැයිද කීය.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය ඇමැතිවරයා අතින් මෙහිදී සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය වී. ජෙගනාදන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

Dinamina 2012.04.06

No comments:

Post a Comment