Thursday, April 12, 2012

ජනතාවට උපාධි කඩ එපා එපා! ආණ්‌ඩුවට ඕනෑ ඕනෑ! - මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අර්බුදය

සිදු වූ සහ තවදුරටත් සිදුවෙමින් පවතින දේ පිළිබඳ අංශු මාත්‍රයක මවිතයක්‌ අප තුළ උපදවන්නේ නැත. බොහෝ දේ සිදු වූයේත් සිදු වෙමින් ඇත්තේත් සිදුවිය යුතු දේට වඩා ගව්ගාණක්‌ එපිටිනි. වගකිව යුත්තන් සිය අප්‍රතිහත වෙර වීරියෙන් දුන් "තල්ලුව" දඩමීමා කරගනිමින් තවදුරටත් රුපියල් කෝටි ගණනින් සූරා කන්නට ඉඩකඩ විවර වී තිබේ. පුදුමය නම් ඒ ඉඩහසර විවර වන්නේ පූර්ණ දේශපාලන අනුග්‍රහය මත වීමය.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තරම් මෑත කාලයේ දැඩි කතාබහට ලක්‌වූ උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ තවත් නැත. එම වෛද්‍ය විද්‍යාලය පටන් ගැන්මම වංචාවක්‌ යෑයි අපි මීට පෙර කියා තැබුවෙමු. දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යායතනය (SAITM) ලෙස හඳුන්වන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුලින්ම හඳුන්වා දුන්නේ දකුණු ආසියානු තාක්‍ෂණ හා කළමනාකරණ ආයතනය වශයෙනි. අද වෛද්‍ය පාඨමාලා ද පවත්වන මෙම ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයෙන් 2008 වසරේදී මුලින්ම අනුමැතිය ලබාගෙන ඇත්තේ තොරතුරු තාක්‍ෂණ හා කළමනාකරණ පාඨමාලා සඳහාය. වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කළ යුතු යෑයි පසුව ගත් තීරණයට සියල්ලන්ම ලිතව හා වාචිකව අනුමැතිය දී තිබිණි. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය ද ඒ අතර වෙයි. කළමනාකරණ ආයතනයක්‌ ක්‍ෂණිකවම වෛද්‍ය විද්‍යා ආයතනයක්‌ බවට පරිවර්තනය වීමේ සිට මේ දක්‌වාත් ඒ අතරතුර කාල වකවානුවක්‌ එම ආයතන පරිපාලන යාන්ත්‍රණය විසින් මෙරට දරුවන් සිය ග්‍රහණයට නතුකර ගැනීම සඳහා අපූරු රංගනයක නිරතවන බව නොරහසකි. SAITM සිය වෙබ් අඩවියෙන් කියා සිටියේ තමන් විදේශීය ආයතනයක්‌ බවය. එහෙත් රටට ප්‍රකාශ කළේ තමන් සියයට සීයක්‌ම දේශීය ආයතනයක්‌ බවය. මුල සිටම එහි පරිපාලන අංශ විසින් ක්‍රියාවට නගන ලද සටකපට ක්‍රියාමාර්ග හේතුවෙන් දරුවන් පමණක්‌ නොව දෙමව්පියෝද මේ වනවිට දැඩි අපහසුතාවකට පත්ව සිටින්නාහ. අද, හෙට, සතියකින්, මාසයකින්, මාස කිහිපයකින් ආදී ලෙසින් අදටත් ශේෂයක්‌ව පවතින එහි වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ පමණක්‌ නොව පෞද්ගලික රෝහලක්‌ හෝ සොයා ගැනීමට ඔවුන් දැරූ ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථක විය. මෙම ආයතන සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ ලබා ගැනීමට ආයතන බලධාරීන් දැරූ ප්‍රයත්නය අසාර්ථක කිරීමේ පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය. එම සංගමය එකහෙළාම ඊට විරුද්ධ වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියක්‌ හෝ නොමැතිව කිසිදු ප්‍රමිතියකින් තොරව ආයතනය පවත්වාගෙන යන නිසාය. එවැනි ආයතනයක සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහලක්‌ ලබා දීමට බලධාරීන් ගත් උත්සාහයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වනබවට තර්ජනයක්‌ද කර තිබිණි. SAITM ආයතනයේ ප්‍රමිතිය පමණක්‌ නොව එහි සිසුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ද දැඩි විවේචන එල්ල විය. පරිපාලන අංශ එම විවේචන ප්‍රතික්‍ෂේප කළ අවස්‌ථාද තිබිණි. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ද ආයතනය නීතිගත කර පවත්වා ගැනීම වෙනුවෙන් දැරූ වෙහෙස සුළුපටු නොවේ. 2008 වසරේ SAITM ආරම්භ කර මේ මොහොත දක්‌වා කර ඇති අපූරු නාඩගම පිළිබඳ යථාර්ථය දැන් හෙළි වී ඇත. ඒ බව හෙළි වන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද පංච පුද්ගල කමිටුවේ නිරීක්‍ෂණ අනුවය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට වෛද්‍ය එච්. ආර්. යූ. ඉන්ද්‍රසිරි, මහාචාර්ය ජයන්ත ජයවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන් යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ඒ. ආර්. අහමඩ් මහත්මිය ද අයත් වූවාය.

දකුණු ආසියානු තාක්‍ෂණික හා කළමනාකරණ ආයතනය එක්‌වරම දකුණු ආසියානු වෛද්‍ය විද්‍යා ආයතනය බවට පරිවර්තනය වීමේ සිට මේ දක්‌වා ආයතනය ක්‍රියාකාරීත්වය මනා නිරීක්‍ෂණයකට ලක්‌ කර ඇති කමිටුව ඉදිරිපත් කර ඇති කරුණු ආයතනය ආරම්භයේ සිටම මාධ්‍ය මගින් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එල්ල කළ චෝදනා සනාථ කිරීමක්‌ යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එම කමිටු වාර්තාවට අනුව ආයතනය වෛද්‍ය පාඨමාලාවට පළමු ශිෂ්‍ය කණ්‌ඩායම් ද්විත්වය බඳවාගෙන ඇත්තේ සෞඛය අමාත්‍යාංශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ අනුමැතියකින් තොරවය. මෙම ආයතනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය අනුමැතිය දී ඇත්තේ සෞඛ්‍ය විද්‍යාවට අදාළ ඕනෑම පාඨමාලාවක්‌ ආරම්භයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවට වන කොන්දේසිය මතය. එම කොන්දේසිය උල්ලංඝනය කරමින් ආයතනය කටයුතු කළේ කෙසේද යන්න හා කුමන ආකාරයේ අනුග්‍රහයක්‌ මතද යන්න සොයා බැලීම වැදගත්ය. පංච පුද්ගල කමිටුවේ නිරීක්‍ෂණයන්ට හසු වූ තවත් ඉතා බරපතළ කරුණ නම් සෞඛ්‍ය අමාත්‍යාශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හෝ අනුකූලතාවකින් තොරව 2009 වසරේ සිට 2011 දක්‌වා ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක්‌ බඳවාගෙන ඇති නමුත් එම කණ්‌ඩායම්වල උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලැබීම පිළිබඳ තත්ත්වය තවමත් අස්‌ථාවරය යන්නය. මෙය එම සිසුන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයකි. උසස්‌ පෙළ සාමාන්‍ය සාමර්ථ තුනක්‌ මත අවම සුදුසුකම් හෝ නොමැතිව SAITM වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට නම් එය ගැටලුවක්‌ විය නොහැකි නමුත් සුදුසුකම් සහිතව පාඨමාලාව හදාරන දරුවන් සිය අනාගත අවිනිශ්චිතතාව සම්බන්ධයෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව නොසිටින්නේ යෑයි කිව හැකිද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කිසිදු අනුමැතියක්‌ ලබා නොදුන් වාතාවරණයකදීත් එහි අනුමැතිය උපාධිය සඳහා ලැබී තිබෙන බවට එම ආයතනය පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කළ විට ඇත්ත තත්ත්වය එසේ නොවන බවද SAITM වෛද්‍ය උපාධිය සඳහා කිසිදු අනුමැතියක්‌ ලබා දී නොමැති බවද වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් මගින්ම මහජනතාවට කළ දැනුම්දීම පිළිගත්තේ නම් වර්තමානයේ මෙවන් තත්ත්වයකට මුහුණපෑමට ඔවුන්ට සිදු නොවන්නට ඉඩ තිබිණි.

ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක්‌ නිරායාසයෙන් ම ග්‍රහණයකට නතුව සිටින අවස්‌ථාවක උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ද ආයතනය නීතිගත කිරීමට අවශ්‍ය මාර්ගය සකසමින් කඩිමුඩියේ ම අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරමින් කොන්දේසි කිහිපයක්‌ ඉදිරිපත් කළේය. මෙම ගැසට්‌ පත්‍රය නිකුත් කළේ පසුගිය වසරේ අගෝස්‌තු මස 30 වැනිදාය. එම නිවේදනය බලාත්මකවීමේ දින සිට මාස 6 ක්‌ ඇතුළත සපුරාලිය යුතු කොන්දේසි රැසක්‌ ඊට අන්තර්ගත කර ඇත. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම ගැසට්‌ නිවේදනයේ කොන්දේසි ඉටුකර තිබේද යන්න පිළිබඳ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පසු විපරමක්‌ කර තිබේද යන්න ගැටලුවකි. එම කොන්දේසි ඒ ඒ කාලවකවානුවලදී සපුරාලීමට අපොහොසත් වන්නේ නම් හෝ අපොහොසත් වී සිටී නම් හෝ අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද? කොන්දේසි සපුරාලීමේ පදනම මත පසුගිය වසරේ අගෝස්‌තු මස 30 වැනිදා සිට ආයතනයට උපාධි ප්‍රදාන අවසරය හිමිකර දීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ගැසට්‌ නිවේදනයක්‌ පළ කිරීමෙන් දුන් "තල්ලුව" කොළේ වසා ගැසීමක්‌ද යන්න දැඩි කතාබහට ලක්‌ව ඇත. මන්ද එම ගැසට්‌ නිවේදනය බලාත්මක වන නිශ්චිත දිනය පිළිබඳ ගැටලුව නිසාය. ආයතනය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පංච පුද්ගල කමිටුවද එම ගැසට්‌ නිවේදනයේ අපැහැදිලිතාව නිරීක්‍ෂණය කර තිබේ. කමිටුව ප්‍රකාශ කරන්නේද ගැසට්‌ නිවේදනය වලංගු වන්නේ කවර දින සිටදැයි සඳහන් නොවන බැවින් එය සැලකිය යුත්තේ "උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපාධි ප්‍රදානය කරනු පිණිස අනාගතයේදී අවසර දෙනු ලබනු ඇත" යනුවෙනි. ගැසට්‌ නිවේදනය වලංගු වන්නේ කවර දිනක සිටදැයි සඳහන් නොකිරීමෙන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්‍ෂා කළේ වැල යන අතට මැස්‌ස ගැසීමටදැයි ප්‍රශ්න කළ යුතුය.

පංච පුද්ගල කමිටුව තවත් වැදගත් කරුණක්‌ අවධාරණය කරයි. එනම් තත්ත්වය අධ්‍යයනය කර ගැටලු විසඳන තෙක්‌ වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවා නොගන්නා ලෙස සෞඛය අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පත් දැන්වීම් මගින් SAITM ආයතනයට අවවාද කර තිබියදීත් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනීම සඳහා ප්‍රසිද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමය. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ කොන්දේසි නොතකා හරිමින් මුල් ශිෂ්‍ය කණ්‌ඩායම් දෙක බඳවා ගනිමින් ඔවුන් නන්නත්තාර කිරීමෙන් නොනැවතී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාද නොතකමින් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායම බඳවා ගැනීමට තරම් "හයියක්‌" ආයතනයට හිමි වූයේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ "තල්ලුව" නිසා ද යන්න සැකසහිතය. ඒ කෙසේ වුවද දෙනු ලබන නියෝග නොතකා හැරීම පිළිබඳ සෞඛය අමාත්‍යාංශය හෝ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ආයතනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න දැනගැනීමට දෙමව්පියගේද යුහුසුලුව සිටිති. ආයතනය නීතිගත කිරීම සඳහා කඩිමුඩියේ ගැසට්‌ නිවේදන ප්‍රසිද්ධ කළ හැකි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ නියෝග නොතකා හැරීම ගැන ආයතනයට එරෙහිව කටයුතු නොකරන්නේ ඇයිදැයි ඔවුහු ප්‍රශ්න කරති.

පංච පුද්ගල කමිටුවට හසුවූ සුවිශේෂී කරුණක්‌ ගැනද සඳහන් කළ යුතුය. එනම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නියම කරන ලද අවම සුදුසුකම් නොමැති දෙදෙනකු ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටින බවය. වෛද්‍යවරයකු යනු මිනිසුන්ගේ ජීවිත පිළිබඳ තීරණය කරන ජීවකයෙකි. උසස්‌ පෙළත් අසමත් චරිත මිනිසුන් ජීවත් කරවීමේ ජීවකයන් බවට පත් කිරීම සඳහා ආයතනය ගන්නා ප්‍රයත්නය කෙතරම් ආශ්චර්යය දනවන ප්‍රාතිහාර්යයක්‌ දැයි සඳහන් කළ යුතුය. රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අලෙවි වන SAITM වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ගැන තවදුරටත් කතා කිරීමේ අවශ්‍යතාවක්‌ නැත. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නීතිගත කිරීමට නහුතයක්‌ වලිකන්නේ ප්‍රමිතියෙන් තොර මෙතරම් බාල මට්‌ටමේ උපාධියක්‌ දැයි දෙමව්පියෝ ප්‍රශ්න කරති. උසස්‌ පෙළ විභාගය හෝ සමත් වීමට නොහැකි පුද්ගලයන් උපාධිධාරීන්, විශේෂඥ වෛද්‍ය උපාධිධාරීන් බවට පත් කිරීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ කරන්නේ ක්‍ෂිතිජයෙන් එපිට ලොවක්‌ දකින දරුවකු බිහි කිරීමේ අරමුණෙන්දැයි ප්‍රශ්න කළ යුතුය.

උසස්‌ අධයාපන ආයතනවලට උපාධි ප්‍රදානය කිරීමේ අවසරය පිරිනැමීමේ වගකීම හා හැකියාව මෙතෙක්‌ ලැබී තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයකුගෙන් හා සාමාජිකයන්ගෙන් සමන්විත ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබූ බලතල එස්‌. බී. දිසානායක උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් නිසිබලධරයකු යටතට පත්කරනු ලැබ ඇත. එනම් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරනු ලැබ ඇත. ඒ.... පසුගිය පෙබරවාරි මස 22 වැන sදා තමන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට්‌ නිවේදනයෙනි. මෙහි විශේෂත්වය නම් උසස්‌ අධ්‍යාපන ආයතනවලට උපාධි ප්‍රදානය කිරීමේ නිසි බලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා පත් කිරීම ගැන මෙතෙක්‌ බලධාරියාව කටයුතු කළ ප්‍රතිපාදන කොමිෂන් සභාව නොදැන සිටීමය.

සිය දරුවන්ට නියමිත කාලයේදී විභාග පැවැත්වීමට SAITM ආයතනය කටයුතු නොකිරීමට එරෙහිව දෙමව්පියෝ පිරිසක්‌ පසුගිය දා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළහ. ඉහළින් දෙනු ලැබූ නියෝග කඩ කිරීම ගැනද එම ආයතනයට චෝදනා ඉල්ල වී තිබේ. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට්‌ නිවේදනයේ කොන්දේසි නියමිත කාලයේදී සපුරාලීමට ආයතනය අපොහොසත් වී ඇතැයිද යන්න නොරහසකි. ඇතැම් දෙමව්පියෝ සිය දරුවන් පාඨමාලාවෙන් ඉවත් කරගෙන සිටිති.

ඉදින්, නිසි බලධාරී වගකීම වන්නේ පොරෝ කෙටියෙන් කපා හළ හැකි ගසක්‌ අතු ඉතිලා වැඩෙන්නට ඉඩදී "බකංනිලා" සිටීමද? මහත්වරුනි, ඔබ මේ පසක්‌ කරන් සිටින්නේ දැයේ දුවාදරුවන්ගේ අනාගතය පිළිබඳ හොටු පෙරාගෙන හඬ නැගීමේ අවංක වුවමනාව ද යන්න ප්‍රශ්න කළ යුතුය.

නිලන්ත මදුරාවල

Divaina 2012.04.08

No comments:

Post a Comment