Sunday, April 8, 2012

බෝ නොවන රෝගවලින් ජනතාව බේරාගන්න ජාතික ධනයෙන් වැඩි කොටසක් වැය කිරීමට සිදුවෙලා -- ජනපති මහින්ද රාජපක්ෂ

ධනුෂ්ක ගොඩකුඹුර

මැලේරියා වැනි වසංගත රෝග පරාජය කළත් ජාතික ධනය ඉතිරි කර ගැනීමට නොහැකි වී ඇත්තේ බෝ නොවන රෝග රට තුළ පැතිර ඇති බැවින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ නිසා එදා වසංගත රෝග ජයගත් ආකාරයටම බෝ නොවන රෝගත් ජය ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවති මිහිමෙත් සුවසර වැඩසටහනට පෙරේදා (04) එක් වෙමිනි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී මෙසේ ද පැවසීය.

ලෝක සෞඛ්‍ය දිනය සමරන්න මටත් අවස්ථාවක් ලැබීම ගැන සන්තෝස වෙනවා. අද මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනාම මා ඉතසිතින් පිළිගන්නා අතරම, අරලියගහ මන්දිරයේ මෙම උත්සවය පැවැත්වීමට තීන්දු කිරීම ගැන ද මා සතුටු වෙනවා.

අපට මොන තරම් යුද්ධ තිබුණත්, ලෝක ආර්ථික අවපාතයන්ට මුහුණ දුන්නත්, වාර්ෂිකව රුපියල් මිලියන දස දහස් ගණනක් සෞඛ්‍යය සඳහා වෙන් කළා. ඒ සඳහා හැම අයවැයකින්ම මුදල් වෙන් කරපු නිසා තමයි අද සෞඛ්‍ය සේවය පිළිබඳව ආසියාව ඉදිරියෙන් ඉන්නෙ.

‘පෝෂණය හා බෝ නොවන රෝග, පෝෂණයෙන් ක්‍රියාශීලි බවෙන් පිරි සෞඛ්‍යමත් ජීවිතයක්’. මෙවර අපි ගත් තීන්දුව වැදගත් කියලා මම හිතන්නේ. අපි මෙතෙක් කල් කතා කළේ බෝවන රෝග ගැන. මැලේරියාව වැනි රෝග. වසංගත රෝග මර්දනයට සෞඛ්‍ය අංශ නිලධාරීන් වෙහෙසුණා. දැන් වසංගත රෝගවලින් අපේ රට මිදිලා තියෙනවා.

මට ඇමැතිතුමා කිව්වා පසුගිය අවුරුදු පහ තුළ අලුතින් පෝලියෝ හැදුණු රෝගයකු සොයා ගන්න බැරි වුණා කියලා.

ඒ කාලේ මැලේරියා රෝගය විශාල වශයෙන්, හම්බන්තොට, රත්නපුරය, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල තිබුණා. අපි අද මැලේරියා රෝගය පරාජය කරලා තියෙනවා. මෙයට වැය කළ ජාතික ධනය අපට ලංකාවේ ඉතිරි කරගන්න පුළුවන් වුණා ද? බැහැ. දැන් ධනය වැඩියෙන්ම වැය කරන්නෙ බෝ නොවන රෝගවලට. එයට යන වියදම ඊට වඩා විශාලයි කියලයි මම විශ්වාස කරන්නේ. ඒ රෝගවලින් ජනතාව මුදා ගන්නයි අපිට වෙලා තියෙන්නේ.

දියවැඩියාව, රුධිර පීඩනය , පිළිකා වේවා ඒ රෝග අපේ සමාජය රෝගියකු බවට පත් කරන තත්ත්වයක් අද උද්ගතව තියෙනවා. ඉස්සර නම් අපි කථා කරන කොට දියවැඩියාව තියෙන කෙනෙකු හමු වුණත් එහෙම නැතිනම් අධික රුධිර පීඩනය ඇති කෙනකු හමු වුණත් ඒ කොළඹ කෙනෙක් වෙන්නැති කියලා කියනවා. ඔවුන් සමාජෙ කාලා බීලා ගෙදර ගිහින් නිදා ගන්න එක තමයි කරන්නෙ. ඒ හැර වැඩිදෙයක් කරන්නේ නැහැයි කියලා කියනවා. නමුත් අපි හිතන් හිටියේ එහෙමයි. නමුත් දැන් බැලුවහම ගම් මට්ටමේ අයටත් මේ රෝග තියෙනවා.

අපි වසංගත වැනි රෝගවලින් ජයගත්තා වගේම, බෝ නොවන රෝගවලට මුහුණ දෙන්න ඕනේ. ජනතාව ආරක්ෂා කරගන්න කාර්ය අපි දැන් පටන් අරගන්නවා. අතීතයේ මුතුන් මිත්තෝ ගත කළ සම්ප්‍රදායික ජීවන රටාව ගැන අපි හිතන්න ඕනේ. එදා අපේ ඇත්තෝ කිව්වේ අඩහ කෑම දහසක් වටී. ඇවිද්ද පය දහස් වටී. අද තියෙන සෞඛ්‍ය ගැටලුවලටත් මෙය ගැළපෙනවා.

අඩහ කෑම යනු බාගයක් කෑම නොවෙයි. පමණට ආහාර ගන්න. ධම්ම පදයෙත් කියලා තියෙනවනේ. රස මුසු කෑමට ගිජු වීමේ අදීනව. මේ ගැන බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. අපේ බාල පරම්පරාවට අද මොනවද කන්න දෙන්නේ. එක්කෝ කැන්ටිමෙන් ඇවිල්ලා ක්ෂණික කෑම දෙනවා. එහෙම නැතිනම් අම්මා, තාත්තා ගිහිල්ලා කෑම වේලට යමක් ගෙනත් දෙනවා. මවුපියෝ නොදැනුවත්වම තමන්ගේ දරුවාට කරන විශාල විපතක් වශයෙනුයි මම එය දකින්නේ. අපි විදේශවලින් ගේන ආහාරවලට ජාතික ධනය වියදම් කරනවා. විශාල සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීලා අපිට ඒ සඳහාත් වියදම් කරන්න සිදුවෙලා තියෙනවා.

මේ නිසා තමයි අපි දිවි නැගුම වගේ වැඩපිළිවෙළ දියත් කළේ. ගෙවත්තේ එළවළු ටිකක් පලතුරු ටිකක් වවා ගන්න දිරි දුන්නේ. නිරෝගී වෙනවා වගේම නිවහල් මිනිසෙකු බවට පත් කරන්නත් අපි බලාපොරොත්තු වුණා. සමබර ආහාර වේලක් ගැනීමේ වැදගත්කම මේ කතිකයෝ හැමෝම කිව්වා. මොළය වැඩෙන හැටිත් කිව්වා.

අපේ අමාත්‍ය මණ්ඩලයත්, හුඟාක් දෙනෙක් දැන් ශාරිරික ව්‍යායාමවල යෙදෙනවා. මේක ජාතික අවශ්‍යතාවක් බවට පත්වෙලා. ජනතාව ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. දියවැඩියාව සියයට පනහකින් ඉහළ යනවලු. අද තියෙන ගානටත් වඩා. මේවාට අපිට නීති පනවන්න පුළුවන්කමක් නැහැ. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි කාර්යයන් වේගවත් කළ යුතුයි. එය ජනතාවගේ කැපවීමත් සමඟ කළ යුතුයි.

අපි මේ කාලේ ගම්පහ ප්‍රදේශයටත් ගියා ඇවිදින්න ශරීර සුවතා මන්තීරු දැන් ඇති කරගෙන යනවා දැන් හැම නගරයකම, ගම්වලත් හැදෙනවා. ගම්පහ, කොළඹ පාර්ලිමේන්තුව පැත්තට ගියාම අපේ ජනතාව මොනතරම් උනන්දුවක් දක්වනවාද කියා අපට පේනවා. හවසට මේ ස්ථානවල ඇවිදමින් ගත කිරීම ගැන කල්පනා කරන කොට, එතකොට තමයි අපිට දැනෙන්නේ ඇවිද්ද පය දහස් වටී කියලා කියන කියමන සනාථ වෙන බව.

මේවා ජනමාධ්‍යයෙනුත් මෙහි වැදගත්කම පෙන්වන්න ඕනේ. මේවාට පහර ගහන එක නොවෙයි. සමහර පුවත්පත්වල ඒ දවස්වල ඇවිදින කොට ටොරින්ටන් එකේ එක් එක්කෙනාගේ පින්තූර අරගෙන පහර ගහලා තිබුණා. වැඩියෙන් කාලා දිරවගන්න බැරිව ඇවිදිනවා කියලා. ජනමාධ්‍යයත් ඇවිදින අය දිහා බැලුවේ වෙනත් ආකාරයකින්. ඒ නිසා මේවා ගැන තවත් ජනතාව උනන්දු කළ යුතුයි.

දරුවා පොතට පතට පමණක් සීමා කරන්න එපා. ක්‍රීඩාවලටත් දරුවා උනන්දු කරවන්න. ක්‍රීඩාවලට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ උනන්දු කළොත් පමණයි දරුවා වඩාත් මේ ක්‍රීඩාවලට යොමුවන්නේ. ජය පරාජය භුක්ති විඳින්න. හොඳ සෞඛ්‍යයක් ඇති කර ගන්න. ඒවායින් ශක්තිමත් ජනතාවක් ගොඩනැඟෙනවා. නිරෝගීමත් දරුවෝ බිහි වෙනවා. මේවා තමයි අද සමාජයට අවශ්‍ය වන්නේ. ක්‍රීඩාංගණ හා ඒවාට අවශ්‍ය පහසුකම් සියල්ලම මේ සඳහා ලබා දෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අද කරන මේ වැඩපිළිවෙළ අපි සැමටම ප්‍රයෝජනවත්.

දරුවා ඉපදුන දවසේ සිටම පැහැදිලි ලෙස ආහාර ගන්නා ක්‍රමය සතුටින් සිටීම. මේවා සියල්ලම දරුවෙකුගේ වැඩීමට උපයෝගී වෙන බව. ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා දැනුම දෙමව්පියන්ගේ සිටම ඉහළට පහළට දරුවෝ දක්වා ගෙන යා යුතුයි. අද නායකත්වය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, විතරක් නොමෙයි අනෙකුත් අමාත්‍යාංශයත් උනන්දු වෙනවා. එළවළු පලතුරු ගැන කතා කරනවා. පලතුරු කන්න, ඒ සඳහා පලතුරු වැවීමට උනන්දු කරවන්න. අඩු මුදලට ගන්න ජනතාවගේ් මේසයට ගේන්න පුළුවන් මට්ටමට ගේන්න අපි පුරුදු කළ යුතුයි.

මේ හැම අමාත්‍යාංශයක් හරහාම ඒ සඳහා කටයුතු කරන්නට පියවර ගන්න සූදානම්. මවුපියන් තම දරුවන් පිළිබඳවත්, ඒ වගේම වැඩිහිටියන් දරුවන්ට ආදර්ශයක් වන්නටත්, නායකත්වය දරුවන්ට ආදර්ශයක් වීමටත්, කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඒ නිසා ආහාරවේල පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරලා මේ ක්ෂණික ආහාරවලින් මිදිලා රට ගැන අවබෝධ කරගෙන දේශීය ආහාරත් එක්ක වඩා හොඳ සමබර ආහාර වේලක් අරගෙන දරුවන්ට ලබාදෙන වැඩපිළිවෙළට අපි යාමට සූදානම් විය යුතුයි.
ඒ නිසා මේ කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීම ගැන ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙමින් ඔබ මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැනත් සන්තෝස වෙමින්, ස්තුතිවන්ත වෙමින්, මේ රටේ සෑම ජනකොටසකටම ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා දෙන්නට අද වැනි දිනක අපි සූදානම් වෙමු කියලා ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම නිරෝගිමත් ජාතියක් ගොඩනගන්නට ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු ‍ෙදනාටම තෙරුවන් සරණයි.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා

අද අපි අප්‍රේල් 07 වනදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය මුල් කරගෙන මේ අරඹන්නේ දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනක්. එය අවසන් වන්නේ පුළුල් වැඩසටහනක ආරම්භයක් ලෙසයි. එදා අප සහභාගී වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවේ තේමාව වූයේ බෝ නොවෙන රෝග යන්නයි. ඒ අනුව මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ අද අරඹනවා.

මීට වසර එකහමාරකට පෙර අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෝෂණය පිළිබඳ ජාතික සභාව ආරම්භ කළා. එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී එදා සාකච්ඡා කළේ බෝ නොවන රෝග සෑම රටකටම ගැටලුවක් වී තිබෙනව බවයි. අපේ රටේ සියයට 60ක් මිය යන්නේ බෝ නොවන රෝග නිසයි. අප විසින් අප විනාශ කර ගැනීමයි මෙයට හේතුව.

මම දවසේ වඩාත්ම සතුටු වන කාලය තමයි මා ව්‍යායාම කරන කාලය. පසුගිය දිනෙක මම උදෑසන ආහාර ගන්නා විට පැමිණි රාජ්‍ය නිලධාරියෙක් මගෙන් අහනවා මේවද කන්නේ කියලා. මම කොට කලිසමක් ඇඳගෙන, සෙරෙප්පු නැතුව කිලෝමීටර් තුන හතරක් පයින් පාසලට ගියෙත් පොල් සම්බෝල සමඟ බත් කාලා. අද සෞඛ්‍ය ඇමැතිවරයා ලෙසත් මම කන්නේ ඒ ආහාර තමයි.

පෝෂණය හා බෝ නොවන රෝග ජනතාවගේ සෞඛ්‍ය දර්ශකයේ වැදගත් අංගයි. රට කොතරම් ලස්සන කළත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නැති නම් රටේ සංවර්ධනය අත්විඳින්නට බැහැ. මේ සියලු වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වෙනවා මීට පෙර සිදු නොවන ආකාරයේ කාර්යක්ෂමභාවයකින්. මේ සඳහා අපි සියලු දෙනා එක් වෙමු.

මලල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මිය

බෝ නොවන රෝගවලින් දරුවන් මුදා ගැනීමට ව්‍යායාම වැදගත් වෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය මේ බෝනොවන රෝග අතරට වැටෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට වෛද්‍යවරයකු අවශ්‍ය නැහැ. කායික හෝ මානසික සුවයෙන් සිටීමයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් කියන්නේ. අප එදිනෙදා කරන දේ මේ සඳහා බලපානවා.

ලෙඩ වූ පසු දුක් වී පලක් නැහැ. ඒ නිසා අපි අද සිටම ව්‍යායාම අරඹමු. මගේ ගම මැල්සිරිපුර, රාගෙදර කියන කුඩා ගම්මානය. මම පාසල් ගියේ පයින්. මම පාසල් යන විට කෑවේ කොස්, දෙල්, මඤ්ඤොක්කා වගේ දේවල්. ක්‍රීඩා පිටියට ගිහින් සෙල්ලම් කරනවා. අද මම කොළඹ පදිංචි. අවාසනාවට මගේ දුවටත් ඒ කාලය නැහැ. මේ තත්ත්වය නැති වුණේ විභාග පාදක අධ්‍යාපන ක්‍රමය නිසයි.

නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක,ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එෆ්.ආර්.මෙහෙතා මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

Dinamina 2012 .04.06

No comments:

Post a Comment