Sunday, April 1, 2012

සායනික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මාලඹේට නෑ- පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍ය සංගමය

චමින්ද සිල්වා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය කණ්‌ඩායම් හයක්‌ බඳවා ගෙන ඇතත් වෛද්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක්‌ වන සායනික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මෙතෙක්‌ සකස්‌ කර නැතැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරුන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය ඉඳුනිල් විඡේනායක මහතා පැවැසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මේ දක්‌වා සිදුව ඇති බව කියන වංචා දූෂණ හා අක්‍රමිකතා හෙළිකිරීම සම්බන්ධයෙන් ඊයේ (01 වැනිදා) ජාතික පුස්‌තකාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඉඳුනිල් විඡේනායක මහතා මෙසේද කීය.

මාලඹේ වෛද්‍ය ආයතනය මගින් රුසියාවේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයකින් පිළිගත් උපාධියක්‌ ලබාදෙන බවත් එය එංගලන්තය ඇතුළු රටවල් කිහිපයක වෛද්‍ය සභාවලින් පිළිගන්නා බවටත් අසත්‍ය ප්‍රචාර යවමින් සිසුන් බඳවාගනිමින් සිටිනවා.

නමුත් මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් ලබාදෙන උපාධි පිළිනොගන්නා බව රුසියාවේ වෛද්‍ය සභාව පවා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මාලඹේ වෛද්‍ය උපාධිය පිළිනොගන්නා බව පුවත්පත් නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. එසේ ප්‍රකාශ කර තිබියදීත් රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌ වැනි මුදලක්‌ වැය කරමින් මාලඹේ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම සක්‌විති, දඬුවම් වැනි මුදලාලිලා ළඟ මුදල් තැන්පත් කිරීමක්‌ ලෙසයි අපි දකින්නේ.

එම නිසා මාලඹේ වෛද්‍ය විද්‍යාලය සඳහා විශාල ලෙස මුදල් අයකර ගනිමින් නිෂ්ඵල ක්‍රියාවකට දරුවන් ඇතුළත් කර ගැනීමට ඉඩනොදී වහාම එම විද්‍යාලය රජයට පවරාගෙන එහි සම්පත්වලින් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලවලට සුදුසුකම් ලබන දරුවන් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

මෙම අවස්‌ථාවට එම සංගමයේ ජාතික සංවිධායක අසංක වික්‍රමසිංහ, ජාතික මෙහෙයුම් කමිටු සමාජික ජයන්ත බණ්‌ඩාර යන මහත්වරුද සහභාගි වූහ.

Divaina 2012.04.02

No comments:

Post a Comment