Sunday, March 25, 2012

පැරසිටමෝල් හා සෞඛ්‍ය මෝල්

ආසියාවේ ආශ්චර්ය ගැන මොන පම්පෝරි ගැහුවත් ආණ්ඩුව ඉන්නේ වැලේ වැල් නැතිවය. රජයේ සේවකයින්ගේ පඩි නඩි පවා ගෙවන්නේ මාර අමාරුවෙන්ය.

හෙට ඕනෑ මුදල් හොයාගන්නේ ආදායම් උපදවන හැම රජයේ ආයතනයකම ආදායම අද හවසට සූරා ගෙන එකතු කරලාය.

පහුගිය දවස්වල අර්ථසාධක අරමුදලට වැඩේ දෙන්න ගියෙත් ඒ නිසාය. පීබී ජයසුන්දර උදේ පාන්දර තමන්ගේ පු‍ටුවේ වාඩි වී පස්මහ බැලුම් බලන්නේ අදලොක්කාගේත් පැටවුන්ගේත් වියදමට සල්ලි ටිකක් හොයා දෙන්නේ කොහොමද කියලාය.හොයා නොදුන්නොත් බඩු බනිස් කියලා ජයසුන්දර හොඳින්ම දන්නවාය.

ආණ්ඩුවේ හොම්බෙන් යන බවට තියෙන හොඳම උදාහරණය තමා ආණ්ඩුවේ කාර්යාලවල වියදම් කපා හරින්නට කර තිබෙන නියෝග.

ආණ්ඩුවේ කාර්යාල වලට පත්තර ගන්න එක තහනම්ය. විදුලි ලාම්පු සීමා කරලාය. සමහර කාර්යාල වලට යනකොට විදුලි පන්දමක් අරන් යන්න වෙනවාය. ඇතුලේ මොකුත් නොපෙනෙන ගානට විදුලි පහන් නිමලාය.එච්චර කලුවරේ ඉඳගෙන ක්ලාර්ක් නෝනාලා මහත්තුරු වැඩ කරන්නේ කොහොමද කියලා හිතෙන ගානට නිමලාය.

මෙහෙම ඉතුරු කරන් ගියොත් එහෙම ඉතුරුව ඇර වෙන මුකුත් ඉතුරු වෙන එකක් නැත.
ඒ ඉතුරු කිරිල්ල දැකලා සෞඛ්‍ය ලොක්කන්ටත් ඉතුරු කරන්න හිතිලාය.
උන්දැලාත් දවස් ගානක් කල්පනා කලා කපන්නේ මොනවද කියලා. එක එක දේවල් කපමු කියලා යෝජනා ආවා.

අන්තිමේ තීරණය කරා ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමෝල් පෙත්ත කපන්න.
ඔන්න දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමොල් පෙති ගාන අඩු කරලා.ලෙඩෙකුට පෙති දහයක් ඕනෑ නම් පෙති 5 ක් හරි 4ක් හරි දෙයි.

මාර ඉතුරුවක්. ආණ්ඩුවේ නාස්ති වලින් නවත්තන්න ඉතුරු වෙලා තිබුනේ ඔච්චරයි. පැරසිටමෝල් කපලා ඉතුරු කොරන සල්ලි වලින් පුලුවන් මුලු රටම ආශ්චර්යට අරං යන්න.

ලංකාව වටේටම වරායවල් හදන්න. ලංකාව පුරාම ගුවන් තො‍ටුපල්වල් හදන්න. රට උඩින් මකුලු දැලක් වියුවා වගේ අධි වේගී පාරවල් හදන්න. ග්‍රාමසේවක කොට්ඨාසෙකට එක ගානේ නෙලුම් පොකුණු හදන්න. ප්‍රාදේශීය ලේකම් වසමකට එක ගානේ නෙලුම් කුලුනු හදන්න. සතියට දෙක ගානේ දැයට කිරුලු තියන්න. පලාත් සහාවකට එක ගානේ මිහින් ලන්කා එව්වා හදන්න. ඇත්තට පැරසිටමොල් පෙත්තෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද.

සටහන- ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියත් බෙහෙත් ටික ඔක්කොම කොහොමටත් ගන්නේ පුද්ගලික පාමසියෙන්ය. ඒක නිසා ඔයකොටසක් කපාගෙන දෙන ඉතුරු පැරසිටමෝල් පෙති ටිකත් එයාලටම දෙමුද ………………….. ගහ ගන්න.

gadflyzone.wordpress.com

No comments:

Post a Comment