Friday, March 16, 2012

පොලිසියේ ප්‍රමාදයෙන් හදිසි මරණ පරීක්‍ෂණ පමාවීම ගැන පොලිස්‌පතිට දන්වයි

අජිත් අලහකෝන්

හදිසි මරණ පරීක්‍ෂණවලට මියගිය පුද්ගලයා පදිංචිව සිටි බලප්‍රදේශයේ පොලිස්‌ නිලධාරියකු පැමිණෙන තුරු බලා සිටීමට සිදුවීම නිසා මෘත දේහය පවුලේ ඥතීන්ට ලබාදීම ප්‍රමාද වන බව අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇත.

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනා රෝගීන් මියගිය විට හෝ රෝහලට ඇතුළත් කළ විගස මියයන පුද්ගලයන් සම්බන්ධව එම අදාළ රෝහලේදී හදිසි මරණ පරීක්‍ෂණ සිදු කෙරේ. එහිදී මූලික සාක්‍ෂි මෙහෙයවීම සඳහා මියගිය පුද්ගලයා පදිංචි බලප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානයේ නිලධාරියකු පැමිණිය යුතුය. එහෙත් බොහෝ පොලිස්‌ නිලධාරීන් මෙම පරීක්‍ෂණ සඳහා පැමිණීම ප්‍රමාද වන අතර එනිසා හදිසි මරණ පරීක්‍ෂකවරයා ද අපහසුතාවට පත්වේ. මේ නිසා සිදුවන්නේ මියගිය පුද්ගලයාගේ දේහය පවුලේ ඥතීන්ට ලබාදීම දින දෙක තුනක්‌ පමණ පමාවීම බවද, මුස්‌ලිම් ජාතිකයකු මියගිය විට මෙය දැඩි ගැටලුකාරී තත්ත්වයක්‌ වන බවද අධිකරණ ඇමැතිවරයා විසින් පොලිස්‌පතිවරයාට දන්වා තිබේ.

එම නිසා පොදුවේ රජයේ ඕනෑම රෝහලකදී පුද්ගලයකු මියගිය විට පවත්වන හදිසි මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි මෙහෙයවීම සඳහා අදාළ රෝහලේ ඇති රෝහල් පොලිසියේ හෝ රෝහලට අදාළ බලප්‍රදේශයේ පොලිස්‌ නිලධාරියකු යෙදවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ද අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇත.

Divaina 2012.03.16

No comments:

Post a Comment