Tuesday, March 20, 2012

රෝගීන් දෙදෙනකුගෙන් පෙත්සමක්‌ පරිපූරක වෛද්‍ය වර්ජනය

අජිත් අලහකෝන් සහ සරත් ධර්මසේන

පරිපූරක වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් ඊයේ (19 දා) වාරණ නියෝගයක්‌ නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය 30 වැනිදා දක්‌වා බල පැවැත්වේ.

හේමපාල පෙරේරා සහ ඩී. පී. චන්ද්‍රසේන නමැත්තන් රෝගීන් ලෙස පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය ඇතුළු වෘත්තීය සමිති හයකට එරෙහිව දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක්‌ සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් වෘත්තීය සමිති ඉල්ලීම් දිනාගැනීම සඳහා පසුගිය 13 දා සිට වැඩවර්ජනයක්‌ අරඹා ඇතැයිද පවසන පෙත්සම්කරුවන් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු රජය පරිපූරක වෛද්‍ය වෘත්තික ඉල්ලීම් ලබාදීමට පියවර ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් කර ඇත.

එසේ තිබියදීත් වෘත්තීය සමිති ලේබලයට මුවාවී පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සිදුකරන ක්‍රියාමාර්ගය වෘත්තිය සමිති ආඥපනතට පටහැනි බවද සිය පෙත්සමෙන් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ වැඩ වර්ජනය යනු වෘත්තීය සමිති ක්‍රියාදාමයේ එක්‌ පියවරක්‌ පමණක්‌ බවද සඳහන් කර සිටිති.

වැඩවර්ජනයක්‌ නොපවත්වා වෘත්තීය අයිතීන් දිනා ගැනීමේ ක්‍රියාමාර්ග ඇතැයිද පවසන පෙත්සම්කරුවෝ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය නිසා රෝගීන් ඇතුළු ජනතාව පීඩාවට පත්ව ඇතැයිද සඳහන් කර සිටී.

එම නිසා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වළක්‌වාලන වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් දෙදෙනා අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ පිළිබඳ අවධානය යොමු කළ දිසාවිනිසුරුවරයා අදාළ වාරණ නියෝගය නිකුත් කළේය

Divaina 2012.03.20

No comments:

Post a Comment