Tuesday, March 13, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තික වර්ජනයෙන් ඊයේ රෝහල් සේවා අඩාල වෙයි

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ඊයේ (13 දා) දියත් කළ දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ ඖෂධ ශාලා (ෆාමසි), වෛද්‍ය රසායනාගාර (පැත් ලැබ්), එක්‌ස්‌ රේ හා සී ටී ස්‌කෑන් අංශ වැසී ගොස්‌ බාහිර රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීමේ හා වෛද්‍ය රසායනාගාර. එක්‌ස්‌රේ. සී. ටී. ස්‌කෑන් පරීක්‍ෂණ කටයුතු ඇන හිට තිබූ බව රෝහල් ආරංචි මාර්ග මගින් හෙළිදරව් කරයි.

මෙම තත්ත්වය මත බාහිර රෝගීන් හා සාමාන්‍ය ප්‍රතිකාර හා සැත්කම් සඳහා රජයේ රෝහල්වලට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසක්‌ ඊයේ (13 දා) දිනයේ දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව එම ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ ඖෂධ ශාලාවලින් ඊයේ දිනයේ රෝගීන්ට බෙහෙත් නිකුත් නොකිරීම නිසා ප්‍රධාන පෙළේ රෝහල් තුණ්‌ඩු මත රජයේ ඔසුසල් හරහා බෙහෙත් වර්ග රෝගීන්ට ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබුණද රජයේ ඔසුසල් නොමැති ප්‍රදේශවල පිහිටි රෝහල්වලට එම පහසුකම ලබා ගත නොහැකි වී තිබිණි.

ඇනහිට තිබූ අත්‍යවශ්‍ය වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ (ලේ, මළ, මුත්‍රා) හා එක්‌රේ හා ස්‌කෑන් පරීක්‍ෂණ පෞද්ගලික අංශය හරහා කර දීමට කටයුතු යොදා තිබූ බව රෝහල් අංශ පැවසීය.

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල්වල ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී). භෞතවේදී චිකිත්සකයන් (ෆාසියෝතෙරපිස්‌ට්‌ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අද (14 දා) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සඳහා හෙට (15 දා) දිනයේ මහා භාණ්‌ඩාගාරය ඇතුළු අදාළ ආයතනවල හා එම වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13 දා) පැවැසීය.

Divaina 2012.03.14

No comments:

Post a Comment