Tuesday, March 20, 2012

අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පරිපූරක වෛද්‍ය උද්ඝෝෂණයක්‌

ඒමන්ති මාරඹේ

සිය සේවා ඉල්ලීම් 10 කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක නිරතව සිටින රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (20 දා) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපස සිට පා ගමනින් ගොස්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි. අද (20 දා) දහවල් 12.30 ට පැවැත්වෙන මෙම උද්ඝෝෂණය සඳහා දිවයින පුරා රජයේ රෝහල්වල වැඩවර්ජනයේ යෙදී සිටින රජයේ ඖෂධවේදීන් වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම් එල් ටී) විකිරණ ශිල්පීන්, භෞතවේදි චිකිත්සකයින් (µsසියෝතෙරපිස්‌ට්‌ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයින් යන පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිකයින් 1000 ක්‌ පමණ දෙනා සහභාගී වන බව එම බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා ඊයේ (19 දා) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙතෙක්‌ සිය ඉල්ලීම්වලට පිළිගත හැකි කිසිදු විසඳුමක්‌ ලබා දී නැතැයි කී ජයසේකර මහතා එම ඉල්ලීම්වලට විසඳුම් ලබාදී ඇති බවට ගෙන යන ප්‍රචාරය අසත්‍යයක්‌ බවත් සිය ඉල්ලීම් සම්බන්ධව පසුගිය බ්‍රහස්‌පතින්දා (15 දා) මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වූ බව අවධාරණය කළේය.

සෞඛ්‍ය බලධාරීන් විසින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවා ඉල්ලීම් 10 ක්‌ සඳහා පිළිගත හැකි විසඳුම් ලබා දීමට උනන්දු නොවීමේ ප්‍රතිඵයක්‌ ලෙස රජයේ රෝහල්වල බාහිර හා නේවාසික රෝගීන් පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩ වර්ජනයෙන් දැඩි සේ පීඩාවට ලක්‌ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රජයේ රෝහල්වල හදිසි සේවාවලින්ද පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඉවත්ව සිටීම නිසා සාමාන්‍ය ශල්‍ය කටයුතු හා දැඩි සත්කාර ඒකකවල කටයුතුවලට බලපෑම් එල්ල වී ඇතැයිද ඇතැම් රෝහල්වල පොරොත්තු සැත්කම් ලේඛන කල් දැමීමට සිදුව ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2001 වසරෙන් පසු වැඩි කර නොමැති පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනාවන් වැඩිකර දීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය වෘත්තික උපාධිධාරීන්ව රජයේ සේවයට බඳවා ගැනීම ප්‍රමාදවී ඇති විශේෂ ශ්‍රේණියේ උසස්‌වීම් ලබා දීම ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ මුල් කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඉකුත් 13 වැනිදා සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

මෙම වර්ජනය සඳහා බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, ද සොයිසා කාන්තා, කාසල්වීදිය කාන්තා හා මහරගම පිළිකා යන රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් මානුෂීය හේතූන් මත සහභාගී කර නොගන්නා බවත්, සෙසු රෝහල්වල ජීවිතාරක්‍ෂක කටයුතුවලදී පමණක්‌ සිය සේවාවන් සපයන බව එම වෘත්තිකයෝ පවසති.

Divaina 2012.03.20

No comments:

Post a Comment