Friday, March 16, 2012

වෛද්‍ය නිර්දේශ නොමැතිව 'කොරෙක්‌ස්‌ ඩී සහ ට්‍රැමඩෝල්' විකිණූ

අජිත් අලහකෝන් සහ ප්‍රභාත් විතාන

වෛද්‍ය නිර්දේශ නොමැතිව විවිධ පුද්ගලයන් වෙත කොරෙක්‌ස්‌ ඩී සහ ට්‍රැමඩෝල් නමැති ඖෂධ අලෙවි කළ පෞද්ගලික ඔසුසලක්‌ ඊයේ (15 දා) රාවතාවත්තේදී විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් විසින් වටලා ඇත.

මෙම ඔසුසැල් නීති විරෝධීව අලෙවි කිරීම සඳහා ගබඩාකර තිබූ කොරෙක්‌ස්‌ ඩී බෝතල් 800 ක්‌ පමණ සහ ට්‍රැමඩෝල් නමැති පෙති එක්‌ලක්‍ෂ පනස්‌ දහසක්‌ද අත්අඩංගුවට ගත් බව විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා "දිවයින"ට කීවේය.

වෛද්‍ය නිර්දේශයක්‌ නොමැතිව මෙම ඔසුසලෙන් මසකට රුපියල් 24000 බැගින් වැය කර ඉහත ඖෂධ මිලට ගෙන භාවිත කරන පුද්ගලයකු විසින් ලබාදුන් ඔත්තුවක්‌ මත ඖෂධ අධිකාරිය එම ඔසුසල වැටලූ බවද වෛද්‍ය බෙනරගම මහතා කීවේය.

මෙම ඖෂධ වර්ග දෙක අලෙවි කිරීම සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකුගේ නිර්දේශයක්‌ තිබිය යුතු අතර සෑම පෞද්ගලික ඔසුසලකම වෛද්‍ය නිර්දේශ ලේඛනයක්‌ද පවත්වාගෙන යායුතු බව බෙනරගම මහතා කීවේය. එහෙත් මෙම ඔසුසලේ එවැනි ලේඛනයක්‌ද පවත්වාගෙන ගොස්‌ නොමැති බවද අනාවරණය වී තිබේ.

එම ඔසුසලට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවද එහි බලපත්‍රය අහෝසි කිරීම සඳහා නීති උපදෙස්‌ ගන්නා බවද වෛද්‍ය බෙනරගම මහතා කීවේය.

මේ අතර මෙම ඖෂධහල පරීක්‍ෂා කරන අවස්‌ථාවේදී ඖෂධ ලබාගැනීමට පැමිණි මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයෝ 15 දෙනෙක්‌ පමණ පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටිති.

විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ අධ්‍යක්‍ෂ හේමන්ත බෙනරගම, එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරයකු වන අමිත් පෙරේරා, මහින්ද සිරිකුමාර, අජිත් රෝහණ යන නිලධාරීන් හා මොරටුමුල්ල පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසන්න සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී

Divaina 2012.03.16

No comments:

Post a Comment