Saturday, March 24, 2012

සෞඛ්‍ය සේවක සාධාරණ ඉල්ලීම් ලබාදෙනවා වෙනුවට මර්දනය කරනවා

2012 මාර්තු 22 වෙනි බ්‍රහස්පතින්දා, 22:10

පද්මිණි මාතරගේ

සමස්ත ලංකා සුවසේවා සංගමය

සෞඛ්‍ය සේවකයන් මේ මොහොතේ මුහුණදී සිටින වෘත්තීය ගැටලු සහ ජීවන වියදම් බරපතළ ලෙස ඉහළ යාම නිසා සමස්ත ජනතාව මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් දෙන ලෙසට ආණ්ඩුවට බල කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත සෞඛ්‍ය සේවකයන් තීන්දු කර ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.
එම වෘත්තීය සංගමය පෙරේදා (21) පෙරවරුවේ පුංචි බොරැල්ල මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය සාකචිඡාවකදී එහි ප්‍රධාන ‍ලේකම් හෙද නිලධාරී ගාමිණි කුමාරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙසේද කීය
මේ වෙනකොට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති සෞඛ්‍ය සේවක ගැටලු පදනම් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අප සුව සේවා සංගමය ලෙස රෝහල් තුළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ගැටලු පදනම් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා.
නමුත් මේ සාධාරණ ඉල්ලීම්වලට ආණ්ඩුව උත්තර දෙන්න සක්‍රිය මැදිහත් වීමක් කළේ නැහැ.
මේ සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණයි. මානුෂිකයි. සෞඛ්‍ය සේවාවේ ඇතැම් ශ්‍රේණිවලට නිල ඇඳුම් දීමනාව දෙනවා. නමුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නැහැ.
සියලු සේවාවන්ට සේවා ව්‍යවස්ථාවක් තිබෙනවා. නමුත් එවැන්නක් සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නැහැ. ඒ නිසා උසස්වීම්, ශ්‍රේණිගත කිරීම්, වැටුප් වර්ධක මේ අයට නැහැ. රාජකාරිය ගැන නිරවුල් නැහැ.
සෞඛ්‍ය සේවාවේ වෙන කිසිම ශ්‍රේණියක ආදේශක අනියම් තනතුරු නැහැ. කනිෂ්ඨ කාර්ය මණ්ඩල තුළ මේ තනතුරු තිබෙනවා. මෙම සේවකයින් තවම ස්ථිර කර නැහැ.
අතිකාල දීමනා කප්පාදු කර තිබෙනවා. වැඩ කරන පැයට ගෙවිය යුතු අතිකාලවත් නැහැ. පැය 80ක් වැඩ කළොත් ගෙවන්නේ පැය 60ට පමණයි.අපි මේ සාධාරණ හා මානුෂීය ඉල්ලීම්වලට විසඳුම් දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලද්දී ඒවා මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනවා.
වෘත්තීය සමිති මෙම වෘත්තීය ක්‍රියාමාර්ග එකවර ගැනීමට ගියේ නැහැ. අපි සාකචිඡා මාර්ගයෙන් මේවා විසඳා ගැනීමට හුඟාක් උත්සාහ කළා. ඒවා අසාර්ථක වීම මතයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළේ.
අප මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැති ප්‍රධාන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම එම ඉල්ලීම් මගහරිමින් කටයුතු කරනවා. අමාත්‍යංශයට හිතවත් වෘත්තීය සමිති සමග පමණක් ගනුදෙනු කරනවා.
අප ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රදේශීය දේශපාලනඥයින් සිය බලහත්කාරය පාවිචිචි කරමින් සේවකයන්ව බිය වැද්දීමටද කටයුතු කරන බවට තොරතුරු ලැබි තිබෙනවා.
මෙම අවස්ථාවට එම වෘත්තීය සංගමයේ සභාපති වෛද්‍ය කාන්ත අත්තනායක, ප්‍රධාන සංවිධායක ලංකා වාස් යන මහත්වරුන්ද සහභාගි වූහ.

lakbima.lk

No comments:

Post a Comment