Sunday, March 18, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ යළි වර්ජනය අරඹති

2012 මාර්තු 17 වෙනි සෙනසුරාදා, 02:26

ශ්‍රියාණි විජේසිංහ

සාකච්ඡා අසාර්ථකයි: හදිසි සේවාවලින්ද ඉවතට
ජීවිත ආරක්ෂක සේවාවල පමණක් නිරත වෙති

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් තාවකාලිකව අත්හිටුවා තිබූ වැඩ වර්ජනය ඊයේ (16) උදෑසන සිට යළිත් අඛණ්ඩව ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කර සිටී. මහාභාණ්ඩාගාර නිලධාරීන් සමග පෙරේදා (15) පැවැති සාකච්ඡා මුළුමනින්ම අසාර්ථක වීම හේතුවෙන් මෙම පියවර ගත් බව බල මණ්ඩලයේ ප්‍රධාන ‍ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය. තමන්ට රුපියල් 3000ක ඇමතුම් දීමනාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම්වලදී භාණ්ඩාගාරය දැක්වූ ප්‍රතිචාරය යහපත් වී නොමැති බවද හෙතෙම පැවැසීය.

දීප ව්‍යාප්ත රෝහල්වල ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය හේතුවෙන් රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, භෞත හා වෘත්තීය චිකිත්සක කටයුතු මුලුමනින්ම නතර වී ඇත.
මේ අතර, රෝහල්වල හදිසි සේවාවන්ගෙන්ද ඊයේ (16) සිට පරිපූරක වෛද්‍ය වෘත්තීකයන් ඉවත් වී ඇති අතර, ජීවිතාරක්ෂක සේවාවල පමණක් නිරතවීමට පියවර ගෙන ඇතැයි ජයසේකර මහතා කීය.
මහරගම පිළිකා රෝහල, සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල හා මධ්‍යම ‍ලේ බැංකුව තුළ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.

Lakbima

No comments:

Post a Comment