Wednesday, March 21, 2012

රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවල ඉල්ලීම් ඉටුකළ නිසා සේවයට එන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී

රෝහල්වල සේවය කරන කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලට බලපෑ ගැටලු රැසක්‌ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ සෞඛ්‍ය සේවා සංගමය සහ එක්‌සත් ශ්‍රී ලංකා රජයේ සුවසේවා සංගමය ඊයේ (20 වැනිදා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක්‌ මුදල් අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. එම නිවේදනය මෙසේය.

කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල සඳහා මෙතෙක්‌ ඔවුන්ට නිල ඇඳුම් මසා ගැනීමට පමණක්‌ මැහුම් කුලිය වශයෙන් රුපියල් 500 ක දීමනාවක්‌ ලබාදුන් අතර ඒ වෙනුවට නිල ඇඳුම් සඳහා රෙදි ලබා නොදී එම කටයුතු සඳහා රුපියල් 8000 ක මුදලක්‌ මේ වසරේ සිට ලබාදීමට තීරණය කරනු ලැබීය.

එමෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවල අතිකාල සඳහා ආයතන ප්‍රධානියෙකුට අනුමත කිරීමට බලතල තිබුණේ පැය 60 ක කාලයක්‌ පමණක්‌ වන අතර එය පැය 100 දක්‌වා අනුමත කිරීමේ බලය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා විසින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනු ලැබීය.

දැනට දින 180 සම්පූර්ණ කර තිබෙන ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකයන්

5000 ක්‌ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ ස්‌ථිර කිරීම සඳහා අනුමැතිය ලබාදෙනු ලැබීය. මෙම කාර්ය මණ්‌ඩල සඳහා ලබාදෙන අනතුරු දීමනාව රුපියල් 100 සිට 150 දක්‌වා වැඩි කෙරේ.

මීට අමතරව 1/30 දීමනාව සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත්, නුදුරු අනාගතයේ දී එය ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරනු ලැබීය.

එම නිසා කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සියල්ලටම ඉහළ මට්‌ටමේ විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බැවින් රෝහල් සේවා අඩාල කිරීමට පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවී රෝහල් සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙන යැම සඳහා සේවයට වාර්තා කරන ලෙස සියලුම කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලවලින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Divaina 2012.03.21

No comments:

Post a Comment