Tuesday, March 20, 2012

පරිපූරක වෛද්‍ය වර්ජනයට අධිකරණයෙන් වාරණයක්

රොෂන් තුෂාර

රජයේ රෝහලවල පරිපූරක වෛද්‍ය සේවා නියෝජිතයන් ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නිකුත් කළේය.
රජයේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති පහකට සහ එම වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් සැදුම් ලත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩල නිලධාරීන් අට දෙනකුට මේ වාරණය නිකුත් කළේය.

‘වෘත්තීය ඉල්ලීම්’ ලේබලය අලවා ගනිමින් රටක අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් වන අයුරින් ක්‍රියා කිරීමට රජයේ සේවකයන්ට නීතිමය හෝ සදාචාර සම්පන්න අයිතියක් නොමැති බවට සඳහන් කරමින් රෝගීන් දෙදෙනකු පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා මේ වාරණය නිකුත් කළේය.

පරිපූරක වෛද්‍ය සේවයේ ඉල්ලීම් වෙනුවෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ බලධාරීන් ඉදිරිපත්ව සිටියදී හා එම විසඳුම් අමාත්‍ය මණ්ඩලයට යොමුකර සැලකිය යුතු පියවර ගත් අවස්ථාවක මෙසේ වැඩ වර්ජන කිරීම සාධාරණ නොවන බවත්, රජයේ සේවකයන් ලෙස එසේ වර්ජනයේ නිරතවීම නීති විරෝධී බවත් පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ කුවේර ද සොයිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. මේ වැඩ වර්ජනය 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥාපනත දෙවන වගන්තිය යටතේ ගැනෙන කාර්මික ආරවුලක් හෝ සාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවද පැමිණිලිකරුවෝ අධිකරණයට පැවසූහ.

”වැඩ වර්ජනය” වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හි එක් ක්‍රියාදාමයක් පමණක් බව පෙන්වා දුන් නීතිඥ කුවේර ද සොයිසා මහතා අත්‍යවශ්‍ය සේවා සපයන රජයේ සේවකයකු සිය වෘත්තීය ඉල්ලීම් සඳහා “වැඩ වර්ජනය” සාධාරණ නොවන බවත්, රටේ මහජනතාව, රෝගීන් දඩමීමා කර සිදු කරන වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාදාමය වාරණය කරන ලෙස ඉල්ලා සිටියේය.

බණ්ඩාරගම හේමපාල පෙරේරා හා රත්මලානේ ඩී. පී. චන්ද්‍රසේන මහතා නීතිඥ සංජය පොන්සේකා මහතා මගින් මේ නඩුව ගොනු කළේය.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය පර්යේෂණ තාක්‍ෂණ විද්‍යාඥ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ භෞත චිකිත්සක නිලධාරී සංගමය, රජයේ වෘත්තීය චිකිත්සක නිලධාරි සංගමය සහ එහි නිලධාරීන් වන හරේන්ද්‍ර කුරුප්පු මහතා ඇතුළු දහතුන් දෙනකු විත්තිකරුවන් කරමින් නඩුව පවරා තිබිණි.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 30 දින දක්වා වාරණ නියෝග හා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් එදිනට කරුණු දක්වන ලෙසට විත්තිකරුවන්ට නියෝග කළේය.

dinamina 2012.03.20

No comments:

Post a Comment