Monday, March 19, 2012

වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීම් ලබා දෙයි -දැන්වත් වැඩට යන්න

සුභාෂිනි සේනානායක

පරිපූරක වෛද්‍ය වෘත්තික සේවකයින්ගේ ඉල්ලීම් සියල්ලටම සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව විසඳුම් ලබා දී තිබේ.

ඉහත ඉල්ලීම් සියල්ලම ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බැවින් අසරණ රෝගීන් පිළිබඳ අවධානය යොමුකර යළි සේවයට පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් දියත් කර තිබෙන වෘත්තිමය ක්‍රියාමාර්ගය හේතුවෙන් රජයේ රෝහල්වල ප්‍රතිකාර ගන්නා සහ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ට ඇතිවන දැඩි අපහසුතාව හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර මේ ඉල්ලීම් ලබා දී තිබේ. ඒ අනුව එම වෘත්තිකයින් විසින් ඉදිරිපත් කරන ලද සියලුම ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණ විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පියවර ගනු ලැබ තිබේ.

ඔවුන් ගේ ඉල්ලීමකට අනුව එක් එක් ශ්‍රේණි සඳහා ඇමතුම් දීමනාව රුපියල් 500 ක් බැගින් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබේ. එමෙන්ම ඔවුන් විසින් කර තිබූ දෙවන ඉල්ලීම සුදුසු පරිදි ගෙවීමට ද එකඟතාව පළ කරන ලදී.එමෙන්ම මෙම වෘත්තිකයින් විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීමකට අනුව මෙම තනතුරුවල විශේෂ ශ්‍රේණියේ සේවය කරන නිලධාරීන් සඳහා දීමනාවක් ගෙවීමට ද මහා භාණ්ඩාගාරයේ එකඟතාව පළකර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවයේ තනතුරුවලට අදාළව සුදුසුකම් සපුරා තිබෙන උපාධිධාරීන් සේවය සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මෙම වෘත්තිකයින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන අතර රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළකර ඇත.

පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තිකයින් හට අතිකාල දීමනා සඳහා දැනට තිබෙන අනුපාත ක්‍රමය (රේට් ක්‍රමය) වෙනුවට නව අනුපාත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යාංශය එකඟතාව පළකරන ලදී. මෙතෙක් ගැටලුවක්ව පැවැති පරිපූරක වෛද්‍ය සේවාවේ 01 වන ශ්‍රේණියේ උසස්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ද මේ වන විටත් අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම තනතුරුවලට අදාළ ආචාර්ය මණ්ඩල සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10,000 කින් වැඩිකිරීමට තීරණය කර ඇති අතර, ඊට අදාළව ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා අදාළ සන්දේශය ද මේ වන විටත් ඉදිරිපත් කර තිබේ.

Dinamina 2012.03.19

No comments:

Post a Comment