Saturday, March 31, 2012

සමාගම් පනත යටතේ ලියාපදිංචි රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල විසිනවයක් - උසස් අධ්‍යාපන ඇමැති

2012 මාර්තු 31 වෙනි සෙනසුරාදා, 02:10

මිහිරි ෆොන්සේකා / සංජය නලලපෙරුම

සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල විසිනවයක් පවතින බවත් වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා පිහිටුවා ඇති මාලඹේ වෛද්‍ය විද්‍යාලය එලෙසම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය. සමාගම් පනත යටතේ ලියාපදිංචි ලක්ෂ ගණන් මුදල් අයකරගෙන උපාධි පිරිනමන විශ්වවිද්‍යාල යම් නියාමනයකට හා අධීක්ෂණයකට ලක්කළ යුතු බවද අමාත්‍යවරයා පැවැසීය. රුසියාවේ නිෂද්නි නොව්ගෝරද් රාජ්‍ය වෛද්‍ය ඇකඩමියේ අනුබද්ධ ආයතනයක් ලෙස මෙරට පිහිටුවා ඇති මාලඹේ වෛද්‍ය විද්‍යාලය මගින් උපාධි පිරිනැමීම සඳහා අය කරන මුදල රුපියල් ලක්ෂ හැටපහක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එහෙත් ඕස්ට්‍රේලියාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 200-350ත් අතර මුදලක් වැයවන බවද ඉන්දියාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීමට ලක්ෂ 150-250ත් අතර මුදලක් වැය වන බවද ඔහු කීය. ඇමෙරිකාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීමට රුපියල් ලක්ෂ 400-500ත් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එහෙත් මාලඹේ වෛද්‍ය විද්‍යාලය මගින් සිසුවෙකුට රුපියල් ලක්ෂ හැටපහක මුදලකට උපාධිය ලබා ගත හැකි බවද අවසන් වසර හෝ දෙක තුළදී රුසියාවේ පිහිටි විශ්වවිද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලැබිය හැකි බවද දිසානායක මහතා කීය.

මාලඹේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව ඇඳන් දහසකින් යුතුව ශ්‍රී ලංකාවේ විශාලතම හා නවීනතම ශික්ෂණ රෝහල ඉදිවන බවද ඇමැතිවරයා පැවැසීය.

මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ දැනට ‍‍‍ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දහඅටක් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. ඉන් තිදෙනෙක් රුසියානු මහාචාර්යවරුන් බවද ඉතිරි පිරිස කොළඹ පේරාදෙණිය ශ්‍රී ජයවර්ධනපුර කැලණිය හා රුහුණු විශ්වවිද්‍යාලවලින් විශ්‍රාම ගිය හෝ සපත වාර්ෂික නිවාඩු ලබාගත් අය බවද දිසානායක මහතා පැවැසීය.

එලෙසම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සේවය කරන මහාචාර්යවරුන් පිරිසක්ද මෙහි සේවය කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බි.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

lakbima.lk

No comments:

Post a Comment