Saturday, March 31, 2012

ආයුර්වේද වෙදුන් ඉංග්‍රීසි බෙහෙත් දෙනවලු -අමාත්‍යාංශයට පැමිණිලි

සන්ධ්‍යා කරුණාරත්න

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වැනි වෛද්‍ය ක්‍රම හැදෑරූ අය නීති විරෝධි ලෙස බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන පනත යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැතිව රෝගීන්ට බටහිර ඖෂධ අලෙවිය, නිකුත් කිරීම හා තම සන්තකයේ තබා ගැනීම වැරැද්දක් බව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පවසයි.

මේ පුද්ගලයන් රටට හා ජනතාවට සිදු කරන අපරාධය සැලකිල්ලට ගනිමින් නීත්‍යානුකූලව පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් නොවන හා වෙනත් වෛද්‍ය ක්‍රම හැදෑරූ වෛද්‍යවරයකු හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ බටහිර ක්‍රමයට ප්‍රතිකාර ලබාදෙමින් සිටි මධ්‍යස්ථානයක් හිඹුටාන ප්‍රදේශයේදී පෙරේදා (27) වැටලීම සිදුකෙරිණ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ආහාර හා ඖෂධ පරීක්ෂකවරු වන අමිත් පෙරේරා, එල්.ඩී. ඉන්ද්‍රසේන, මහින්ද සිරිකුමාර, ඖෂධවේදි ඩී.එච්.ඩබ්ලිව්. බාලසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මේ වැටලීම සිදුකෙරිණ.

ආයුර්වේද වෛද්‍යවරු ලෙස ඔවුන් සුදුසුකම් ලබා සිටියත් ඖෂධ පනත උල්ලංඝණය කරමින් බටහිර ඖෂධ ළඟ තබා ගනිමින් නීති විරෝධි ලෙස රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටියදි අත්අඩංගුවට ගැනිණ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිවැරදිව උපදෙස් ලබාදෙමින් රෝගීන්ට ලබාදිය යුතු හා එසේ නොමැති වුවහොත් විවිධ සංකූලතා හා අතුරු ආබාධ ඇති විය හැකි ඩෙක්සමෙතසෝන් වැනි ඖෂධ තොගයක් ද, කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා වන ඖෂධ තොගයක් ද, අධිරුධිර පීඩනය හා දියවැඩියාව රෝගවලට ලබාදෙන ඖෂධ තොගයක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.

බටහිර ඖෂධ ළඟ තබා ගත හැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට, දන්ත ශල්‍ය වෛද්‍යවරයකුට, පශු වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වෛද්‍යවරයකුට හා ඖෂධ අධිකාරියෙන් බලපත්‍ර ලබාගත් තොග හා සිල්ලර ඖෂධ වෙළඳුන්ට පමණි.

මෙසේ වැටලීම සිදු කළ මේ මධ්‍යස්ථානය මඟින් ප්‍රසිද්ධ රසායනාගාර ජාලයක් සඳහා රුධිර සාම්පල හා වෙනත් නිදර්ශක එකතු කර ලබාදීම ද සිදු කර තිබේ. මේ සඳහා සුදුසුකම් හා පුහුණුව ලැබූවන් මේ මධ්‍යස්ථානයේ නොසිටීම ද ගැටලුවක් වී ඇත. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු මෙහෙයවීම සිදුකෙරේ.

ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් ලබා සිටින වෛද්‍යවරයකු බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳ වහාම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට දැනුම්දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Dinamina 2012. 03. 29

No comments:

Post a Comment