Wednesday, March 28, 2012

වර්ජන රැල්ලක්‌ අභියස නොසැලුණු ශ්‍රී ලංකා ජාතික රෝහල

තම වටිනා ශ්‍රමය වැය කරමින් රටදැය වෙනුවෙන් යුතුකම් ඉටුකරන දූ පුතුන් ගිලන් වූ මොහොතෙහි ඔවුනට ජීව වායුව පිඹ සවිබල ගන්වා යළි නැඟිටුවාලන්නට ශක්‌තිය ඇති ප්‍රධානතම ආයතනයකි ජාතික රෝහල. එවන් රෝහලක වැඩකටයුතු අඩාල වුවහොත් කුමක්‌ විය හැකිද? පසුගිය දින කිහිපය පුරා සමස්‌ත සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේම විවිධ කාර්ය මණ්‌ඩල වැඩ වැරූ මොහොතෙහි අපට ඇතිවූයේද එවන් හැඟීමකි. කාලයත් සමඟ රට තුළ මතුවන ආර්ථික උච්ඡාවචන හමුවේ තම අයිතිවාසිකම් දිනාගැනීමට පෙළගැසෙනා සහෝදර කාර්ය මණ්‌ඩලයටද අසාධාරණයක්‌ නොවන අතරම අසරණ රෝගී ජනතාවට සාධාරණය ඉටුකරලීමට කෙසේ නම් උපක්‍රම යෙදිය යුතුද? වැඩ වර්ජන හමුවේ නොයෙකුත් ආයතන කඩාවැටෙන ආකාරය පිළිබඳ යම් හැඟීමක්‌ ඇතිව කටයුතු කරන අපට මෙම දුෂ්කර කාලසීමාව නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පහසුවූයේ ආයතනයක්‌ ලෙස අප තුළ වූ පෙර සූදානම නිසයි.

ජාතික රෝහලේ අධ්‍යක්‍ෂතුමියගේ උපදෙස්‌ පරිදි පසුගිය වසර පුරා පැවැත්වූ පුහුණු කිරීම් වැඩසටහන් තුළින් කාර්යමණ්‌ඩලය තුළ සිදුකළ ආකල්පමය වෙනස මෙයට පුළුල් ලෙස දායකවී යෑයි අපි සිතමු. ඵලදායිතා සංකල්ප හඳුන්වාදීම තුළ සිදුකළ කණ්‌ඩායම් හැඟීම් වර්ධනය වීම නිසා කටයුතු සම්බන්ධීකරණය තව තවත් පහසු විය. හෙදියන්, හෙද සොයුරියන් මෙන්ම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ද, රෝහල් පරිපාලන නිලධාරීන්ද, සුළු සේවක පාලකවරුන්ද, මෙහිදී කටයුතු කළ ආකාරය අනෙකුත් රෝහල්වලටද ආදර්ශය සපයන බව අපගේ හැඟීමයි.

ඉතා විශාල රෝගී සංඛ්‍යාවකට නේවාසික පහසුකම් සපයන නිසාවෙන් ඔවුනට නොවරදවාම බත සැපයීමද කාර්ය මණ්‌ඩලයට පැවරෙන බව අමතක කළ නොහැකිය. මෙවන් වර්ජනයක්‌ හමුවේ වුවද කිසිම රෝගියකු කුසගින්නේ නොතබා මුළුතැන්ගෙයි කාර්ය මණ්‌ඩලය ඉතා කාර්යක්‍ෂමව කටයුතු කළ අතර, සමහර වාට්‌ටු සහ ඒකකවල කෑම ප්‍රවාහනය සඳහා හෙදි සොයුරියන් පවා ඉදිරිපත්වීම ඔවුන්ගේ කැපවීම මනාව පිළිබිඹු කරන්නක්‌ විය. කාර්යාල තුළ කටයුතු කරන නිලධාරීන්ද ලිපිකරු මහත්වරුද ස්‌වෙච්ඡාවෙන්ම ඉදිරිපත්ව ඉතා උනන්දුවෙන් හා වගකීමෙන් කටයුතු කළේ තම සහෝදර කාර්යමණ්‌ඩලය අයිතිවාසිකම් දිනා ගන්නා සේම අසරණ රෝගියා රක්‍ෂා කිරීමද අපගේ රාජකාරිය බව හදවත් තුළ මනාව සනිටුහන් වී ඇති බව ප්‍රකට කරමිනි. එලෙසම හමුදාවේ නිලධාරීන්ගෙන් ලැබුණු දායකත්වයද මෙහිදී මිල කළ නොහැකිය. යුද්ධයෙන් තුවාල ලබා ගිලන් වූ මොහොතේ තමනට උපකාරීවූ ජාතික රෝහලට ඔවුන්ද යුතුකම් ඉටුකළේ හමුදාවේ තරම මොනවට පැහැදිලිකර දෙමිනි. රෝහලේ ඵලදායි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්‌ සැපයීම සඳහා පිහිටුවා ඇති අධීක්‍ෂණ කමිටුව, අධ්‍යක්‍ෂතුමිය වටා රොද බැඳ ගනිමින් දකුණු ආසියාවේ විශාලතම රෝහල වූ ශ්‍රී ලංකා ජාතික රෝහල රැකගත් ආකාරය අභිමානයකි. එතුමියගේ ඉතා සුහදශීලී නායකත්වය පිළිබඳ සටහනක්‌ නොතැබුවහොත් එය සත්‍ය වසන් කිරීමක්‌ වනු ඇත. මවක මෙන් තම දරු කැලට නිසි මඟ පෙන්වමින් ඇය දැක්‌වූ නායකත්වය නිසාම, වර්ජනය නමැති චණ්‌ඩ මාරුතය හමුවේ ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් නොසැලී සිටින්නට ශ්‍රී ලංකා ජාතික රෝහල සමත්වූ බව පවසන්නේ ආඩම්බරයෙනි.

වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි
කාර්යභාර වෛද්‍ය නිලධාරි
ඵලදායිතා ඒකකය
ජාතික රෝහල

Divaina 2012.03.27

No comments:

Post a Comment