Wednesday, March 21, 2012

පරිපූරක වැඩවැරුම නිසා රෝගීන් දෙදෙනකු මිය ගියා - සෞඛ්‍ය ඇමැති කියයි

චමින්ද සිල්වා

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් පොළොන්නරුව සහ කොළඹ ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකු ඊයේ (20 වැනිදා) මියගොස්‌ ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මෙම රෝගීන් දෙදෙනා මිය යැමට හේතුව ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රසායනාගාර පරීක්‍ෂණ වාර්තා නොමැතිවීම යෑයි විශේෂඥ වෛද්‍යවරුන් තමාට දැනුම් දුන් බව ද ඇමැතිවරයා කීවේය.

අදාළ වාර්තා තිබුණා නම් රෝගීන් දෙදෙනාගේ ජීවිත රැක ගැනීමට හැකියාව තිබූ බව ද එම විශේෂඥ වෛද්‍යවරුන් පැවැසූ බව සඳහන් කළ ඇමැතිවරයා මෙම තත්ත්වය නිසා තවත් රෝගීන් 400 කුගේ පමණ ජීවිත අවදානමකට ලක්‌ව ඇතැයිද එම විශේෂඥ වෛද්‍යවරුන් තමාට වැඩිදුරටත් දැනුම් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බැව් පැවැසුවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 143 දෙනෙකු සඳහා පත්වීම් ලබාදීම සඳහා ඊයේ (20 වැනිදා) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

වැටුප් වර්ධක වැඩිවීමක්‌ ඉල්ලා සිටින පරිපූරක වෛද්‍යවරුන් මාසිකව රුපියල් 65,000 කට වැඩි වැටුපක්‌ ලබාගන්නා බව පැවැසූ ඇමැතිවරයා ඔවුනගේ මූලික වැටුපට දීමනා රැසක්‌ එක්‌කර ඇතැයිද සඳහන් කළේය.

Divaina 2012.03.21

No comments:

Post a Comment