Saturday, March 3, 2012

ඉල්ලීම් කීපයක් මත දිවයින පුරා රජයේ රෝහල්වල 13 දා සිට පරිපූරක වෛද්‍ය වර්ජනයක්

Saturday, 03 March 2012 01:49

ශ්‍රියාණි විජේසිංහ

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ලබන 13 වැනිදා අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කටයුතු, ඖෂධ නිකුත් කිරීම, එක්ස් කිරණ පරීක්ෂණ, භෞත හා වෘත්තීය චිකිත්සක කටයුතු මුළුමනින්ම නතර වෙන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ‍ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය. වසර 2001 න් පසු කිසිදු දීමනාවක් වැඩි නොකිරීම, උපාධිධාරීන් බඳවා ගැනීම දිගින් දිගටම පමා කිරීම, උසස් වීම් වසර ගණනාවකින්ම ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කරන බව හෙතෙම කීය.

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග කීප විටක්ම සාක්ච්ඡා කළද මේ වන තෙක් විසඳුමක් නොලැබුණ බැවින් වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බව ජයසේකර මහතා කීය.
තම සේවා ඉල්ලීම් ලැබෙන තෙක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන නමුත් රෝහල්වල හදිසි සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද පැවැසේ.

මෙම වැඩ වර්ජනය මහරගම පිළිකා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල හා ළමා රෝහල තුළ ක්‍රියාත්මක නොවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටී.

Lakbima.lk

No comments:

Post a Comment