Tuesday, December 6, 2011

අවයව ගලවා ගැනීමට පැහැරගෙන යෑමේ කතාව

ගණිකා චෝදනාවකට හසුවූ කතකගේ බොරු පැමිණිල්ලක්

මහනුවර පිළිකා ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවක රෝහල් භූමියේදී හමුවූ වෛද්‍යවරයෙකු ඇතුළු හෙද කණ්ඩායමක් රෝගය නිට්ටාවට සුවකර දෙන බව පවසා වෑන් රථයකින් කිසියම් ප්‍රදේශයකට රැගෙන ගොස් ශල්‍යකර්මයකින් ශරීර අවයව ගලවා ගැනීමට උත්සහ කළ බව පවසමින් මෙයට දෙමසකට පෙර දඹුල්ලේ කාන්තාවක් මහනුවර පොලිසියට කළ පැමිණිල්ලක් ඇය විසින් ගොතන ලද්දක් බව අනාවරණය වී තිබේ.
ගණිකාවක බවට සැකකර පොළොන්නරුව පොලිසිය අදාළ කාන්තාව ඉකුත් ඔක්තෝබර් මස 18 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අදාළ සිද්ධිය සැමියා ඇතුළු පවුලේ සැමගෙන් වසන් කිරීම සඳහා මෙම ගොතන ලද සිද්ධිය ඇය පොලිසියට ප්‍රකාශ කැර තිබේ.
මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිද්ධියෙන් පසු මහනුවර පිළිකා ප්‍රතිකාර ඒකකයේ කාර්ය මණ්ඩලය දෙස ද ජනතාව වපර ඇසින් බලන්නට විය.
තමන් රැගෙන ගොස් රඳවා තබා සිටි ස්ථානය සියලු පහසුකම්වලින් යුත් ශල්‍යාගාරවලින් සමන්විත ගොඩනැගිල්ලක් බවත්, එහි අවයව ගලවා ගැනීම සඳහා සූදානම් කැර සිටි තවත් කාන්තාවන් විසි දෙනෙකු සිටි බවත්, දක්වමින් ඇය කළ ප්‍රකාශයට මාධ්‍යය ද ඉහළ ප්‍රචාරයක් ලබා දී තිබිණි.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුනිල් යටවර, පොලිස් පරීක්‍ෂකවරුන් වන වෑත්තෑව, විජේකෝන්, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ලියනගේ, දිසානායක, පොලිස් සැරයන් බඹරදෙණිය, අත්තනායක, පොලිස් කොස්තාපල් සේසත්ගේ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ දීර්ඝ පරීක්‍ෂණයක් සිදුකර සුලමුල හෙළිකරගෙන තිබේ.
අදාළ කාන්තාවගේ පෙර විවාහක සැමියා අතහැර ගොස් ඇති බවත්, සිව්දරු මවක වන ඇය පෙර විවාහයේ දරුවෙකු මෙම අසත්‍ය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට උදව් වී ඇති බවත් පොලිසිය පවසයි.
පොළොන්නරුව අධිකරණය මගින් නොවැම්බර් 01 දින ඇය රුපියල් 250/- ක දඩයක් නියම කැර නිදහස් කැර තිබෙන බවට සාක්‍ෂි ද පොලිසිය සොයාගෙන ඇත.
දාළ කාන්තාව සහ ඇගේ වැඩිමහල් පුත් පොලිසිය නොමඟ යැවීම සඳහා ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Dinamina 2011.12.05

No comments:

Post a Comment